22.1 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්උසස් පෙළ විභාගය අද ඇරැඹේ

උසස් පෙළ විභාගය අද ඇරැඹේ

දැඩි සෞඛ්‍ය නිර්දේශ යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2660ක දී අද (12 වැනිදා) ආරම්භ කෙරේ. එම විධිවිධාන යටතේම ශිෂ්‍යත්ව විභාගය ඊයේ (11 වැනිදා) පැවැත්විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශයන්හි උසස් පෙළ සිසුන් වෙනුවෙන් එම ප්‍රදේශවලම විශේෂ විභාග මධ්‍යස්ථාන දොළහක් පිහිටුවා තිබේ. ගණේමුල්ල බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය, කිරිඳිවැල මහා විද්‍යාලය, වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, සියනෑ ජාතික පාසල හා නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය එම විශේෂ මධ්‍යස්ථාන අතරට අයත් වෙයි. එමෙන්ම කල්එළිය සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය, කොටුගොඩ රාහුල විද්‍යාලය, දූනගහ රණසිංහ මහා විද්‍යාලය, මූකලන්ගමුව බණ්ඩාරනායක විද්‍යාලය, දෙහියාගාත සිරි කුරුස විද්‍යාලය හා කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සෙසු විශේෂ මධ්‍යස්ථාන වෙයි. දිස්ත්‍රික්කයට පිට පාසල්වල දී විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් වෙනුවෙන් මෙම මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට පැවසීය.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල දී ද සිසුන් දහතුන් දෙනෙක් විභාගයට පෙනී සිටිති.

මෙවර විභාගයට සිසුන් තුන්ලක්ෂ හැට දෙදහසකට අධික පිරිසක් අයැදුම්කර ඇත.

සිසුන්ට ඇති විය හැකි බාධා මග හරවා ගැනීම වෙනුවෙන් විභාගයට අදාළව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි. එහි ක්ෂණික ඇමතුම් අංකය 117 ය. විභාගයට අදාළ ඕනෑම ගැටලුවක් මෙම මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. උසස් පෙළ විභාගය අවසන් වන්නේ නොවැම්බර් මස 6 වැනිදාය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 108 දෙනකු වෙනුවෙන් ගම්පහ, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ ප්‍රදේශයන්හි විශේෂ විභාග මධ්‍යස්ථාන දොළහක් පිහිටුවන ලද අතර සියලුම සිසුන් එම මධ්‍යස්ථානවලට පැමිණි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කීවේය.

කොවිඩ් ආසාදිත දරුවන් තිදෙනකු ප්‍රතිකාර ලබන කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙනම විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබූ අතර නිරෝධායන මධ්‍යස්ථානයන්හි දී දරුවෝ දහතුන් දෙනෙක් සඳහා ද වෙනම විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබිණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස් දහසකට අධික පිරිසක් අයැදුම් කර තිබිණි.

විභාගයේ දී කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් ද කිවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments