29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත මුලුමනින්ම අහෝසි...

ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත මුලුමනින්ම අහෝසි කළ යුතුය යන්න බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස පවසයි.

හෙට 06වැනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කරන්නත් ඒ පිළිබඳව ඡන්ද විමසන්නටත් නියමිතව තිබුණා. නමුත් පසුගිය මාසයක් පුරා විශ්විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂවල විරෝධතා සහ ආණ්ඩුව තුළම පක්ෂවල විවිධ අදහස් හමුවේ ආණ්ඩුව හෙට පනත විවාදයට නොගන්නා බව කියා තිබෙනවා. එය කල් තබා ඇති බවත් එයට සංශෝධන ඉදිරිපත් කරනු ඇති බවත් ප්‍රකාශ වෙනවා. කෙසේ වුවද සංශෝධන මගින් මෙය නිවැරදි කළ නොහැක. බරපතළම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සමාන්තර මිලිටරි යාන්ත්‍රණයකට මෙයින් බලය ලැබීමයි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී අන්තර් ජාලය හරහා බාලස්කාර දැරියක් මුදලට අලෙවි කිරීමේ සිදුවීමක් අපි මාධ්‍ය මගින් දැක්කා. සැබවින්ම මේ කොතලාවල පනත කෙටුම්පත් කරපු අය සහ එය සම්මත කරන්න හදන අය කරන්න හදන්නේත් එවැනිම දෙයක්. මේ ක්‍රියාවලින් දෙකේම අරමුණ එකයි. 

මෙම පනතට අදාළව ඇතැමුන් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතර මේ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්න කියලා යෝජනා තිබුණා. එහෙත් එය සංශෝධනය වන්නේ නම් බරපතළ කරුණු ගණනාවක් සංශෝධනය විය යුතුයි. දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල 16ක් ක්‍රියාත්මක වෙනවා. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එහි 17වැනි විශ්විවිද්‍යාලය බවට පත්විය යුතුයි. එම විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභාවට ඉහළින් ඇති වෙනත් සියලු මිලිටරි ව්‍යූහයන් අහෝසි විය යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ඡන්ද විමසීම්වලින් උපකුලපතිවරයා තේරී පත්විය යුතුයි. ඒ සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත තීරණය විය යුතුයි. සාමාන්‍ය විශ්වවිද්‍යාලයක සනාතන සභාවට විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇති වගකීම මෙයටත් ලැබිය යුතුයි. මේ සියලු කරුණු යටතේ එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරා ගන්නේනම් දැන් එහි පවතින පාඨමාලා යළි සමාලෝචනය කළ යුතු වෙනවා. එසේම එය තව දුරටත් මිලිටරි අධ්‍යාපන ව්‍යූහයක් ලෙස පවත්වා ගැනීමට නොහැකි වෙනවා. මේ අදහස යෝජනා කරන අය ඒ සියල්ල යටතේ එය යූ.ජී.සි.ය යටතට ගන්න යෝජනා කරනවාදැයි අපි දන්නේ නැහැ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments