කොරෝනා වෛරසය පැතිරෙන්න දීලා ඊට පස්සේ එය මර්දනය කරනවාට වඩා රෝගය පැතීරීම වළක්වාගන්න කටයුතු කළ යුතුයි. මේ පිළිබඳ අපි ආණ්ඩුවට ලබාදුන් යෝජණාවලට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ යැයි ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒකාබද්ධ පැවැත්වු මාධ්‍ය හමුවේදී එම පක්ෂවල ප්‍රධාන ලේකම්වරු ප්‍රකාශ කරති.
ප්‍රධාන ලේකම්වරු මේ බව සඳහන් කළේ ඉකුත් (13) ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. එහිදි අදහස් දැක්වු ලංකා සමසමාජ පක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතා……පළමුවෙන් අපි හර්තාල් සිහිපයත් කරනවා. 1953 අගෝස්තු 12වෙනිදා.එදා බලයේ හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතාවගේ බඩට පහර ගැහැව්වා. හාල් සේරුවේ මිල ශත විසිපහේ සිට ශත හැත්තෑවට මිල නැංවූවා. ඒ වගේම සීනි මිල හා අනෙකුත් ධාන්‍ය මිල සියල්ලම වැඩි කළා.සුළු ආර්ථික අර්බුදයක් ඇතිවෙලා තිබෙන විට එ.ජා.ප. ආණ්ඩුව කිසිම බරක් ධනවතුන්ට දමන්න කැමැති වුණේ නැහැ. මේ විදියට වක්‍රබදු වැඩිකිරීමෙන් මුළු රටේ ජනතාවගේ විශේෂයෙන් දුප්පත් ජනතාවගේ බඩට පහර ගහන්නයි තීන්දු කළේ.
ඒ අවස්ථාවේදී ලංකා සමසමාජ පක්ෂය,කොමියුනිස්ට් පක්ෂය පමණක් නොවේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දිනකට රටේ වටේ පැවැත්වූවා.ඒක අපේ රටට අලුත් දෙයක්. ඒක හර්තාලය කියලා අපි ප්‍රසිද්ධියේ දැනුම් දුන්නා. ඒ හර්තාලය පැය විසිහතරක් තුල ජනතා සහය රටවටෙන්ම ලබාගෙන අති සාර්ථික වුණා. ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට් එක බයවෙලා රැස්වුණේ වරායේ තිබු බ්‍රිතාන්‍ය නැවකයි. රැස්වෙලා වැඩිවු බඩුමිල විශේෂයෙන් හාල්මිල අඩුකොට ජනතාවට යම් සහනයක් දෙන්න ක්‍රියා කළා. දැන් ඒ සටනේ ඒ සටනේදි සමසමාජ පක්ෂයේ,කොමියුනිස්ට් පක්ෂයේ හා අනෙකුත් පක්ෂවලත් වීරෝධාර භටයින් නවදෙනකු මිය ගියා.
ඒ අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ආධාර ඇතිව එ.ජා.ප.ය පරවතයක් වගේ තිබුණා.ජනතාව තුල තිබු මතයත් එමපක්ෂය පරද්දන්න බැහැ කියලයි. නමුත් හර්තාලය නිසා ජනතාවගේ අවදිවීමක් ඇතිවෙලා 1956දී ප්‍රථමවරට එක්සත් ජාතික පක්ෂය පරාජය වෙලා බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ප්‍රගතිශීලි ආණ්ඩුවක් බිහිවුණා. එහිදි ජනතාව ආණ්ඩුවට පණිවුඩයක් දුන්නා ජනතාවගේ බඩට පහර ගහලා ධනවතුන්ට සහන දෙන අයට මේ රටේ බලයේ සිටින්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පිට පිට ප්‍රගතීශිලි ආණ්ඩු පැමිණියා. එහිදි ජනතාවගේ ජීවන මට්ටමේ දියුණුවක් ඇතිවුණා.
ඇන්.ඇම්.පෙරේරා මුදල් ඇමතිව සිටි කාලයේදී එතුමා කිව්වා සමාන්‍ය ජනතාව පමණක් මේ බර දරන්න බැහැ. අර්බුදයක් ඇතිවනවිට ධනපතියන්ද සෑහෙන බරක් දරන්න ඕනේ කිව්වා. ඒ අවස්ථාවේදී ඇන්.ඇම්. බදුබර 75%කට ඉහල දැම්මා. එසේ ධනපති පන්තියට බර දමලා ඉන් ලැබුණු මුදල් ජනතාවගෙන් ගන්නේ නැතිව සමූපකාර ව්‍යාපාරයත් ශක්තිමත්ව දියත් කරලා. මධ්‍යම පන්තියේ ජනතාව ගසාකෑමට ලක්වීම නවත්වලා විවිධ සේවා සමූපකාර හරහා හොඳ මිලක් ගොවීන්ට ලබාදීලා. අනෙක් පැත්තෙන් සෘජුව පාරිභෝගික සමුපකාර සමග සම්බන්ධවීමෙන් හැකිවුණා ජනතාවටත් සහන ලබාදෙන්න.
ඒ කාලයේ තද ඉඩෝරයක්ද තිබුණා. ලෝකයේ තෙල්මිල හත්ගුණයක් වැඩිවෙලා තිබුණා ඔපෙක් සංවිධානය හරහා. මේ තත්ත්වය තුල වුණත් හාල් සේරුවක් නොමිලේ සමූපකාරය හරහා දුන්නා. කව්රුත් ලංකාවේ සහගින්නෙන් මැරුණේ නැහැ. අනෙක් රටවල දහස්ගණන් මැරෙනවිට ඒ නිසා ඒ හර්තාලයට එක්වෙලා සටන් කළ වීරයින් සියලු දෙනාම එම භීෂණයට මුහුණදීලා සිදුකළ සටන ලංකා සමසමාජ පක්ෂය ලෙසත් ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙසත් අද ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.
වර්තමානයේ අපි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කොවිඩ්19 වසංගත ගැටලුව මම මෙහි වෛරස් විශේෂඥයෙක් ලෙස ආණ්ඩුවේ මන්ත්‍රී කෙනකු වෙලා පාර්ලිමේන්තුවේ සිටියත් මට කිසිම මේ අභියෝගය පරාජය කරන්න මාව සම්බන්ධ කර ගත්තේ නැහැ. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක කමිටුවේත් වසර විසිපහක් පමණ සිටියා. එහෙත් මාව මේ වැඩවලට එකතු නොකරගෙන පැත්තකට දාලා තියෙවා හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ තිබෙන සෞඛ්‍ය කමිටුවේ මම සාමාජිකයෙක් නිසා මට අවස්ථාවක් ලැබුණා එහිදි සෞඛ්‍ය ඇමැතිතුමියට මම පැහැදිලිව කිව්වා මේ පොකුරු ආකාරයට පිටරටින් ඇවිල්ලා ඔහුත් සමග සම්බන්ධවන අයට මේක බෝකරලා දැන් පොකුරු සීමාව ගිහිල්ලා මේක සමාජගත වෙලයි තිබෙන්නේ කියලා. එසේනම් මුළු සමාජයම දැනුවත් කරලා අවදි කළ යුතුයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවිය යුතුයි. කියලා කිව්වා. එම කමිටුවට සෞඛ්‍ය ඇමැතිතුමියටත් සම්බන්ධ වෙලා මේක ජාතික සටනක් ලෙස පරිවර්ථනය කරන්න කිව්වා.
මුළු මහත් ජනතාවගේම සතුරෙක් ලෙස සළකා කටයුතු කරන්න කියලා ඉල්ලුවා. එහිදි සෞඛ්‍ය ඇමැතිවරිය කිව්වේ ඇගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේ තිබෙන කමිටුවට පක්ෂ නායකයින්ට පැමිණ විස්තර දැන්ගන්න පුළුවන් තව කමිටුවක් වැඩක් නැහැ කියලා. අවශ්‍යනම් මෙම කමිටුව මාසයට දෙසැරයක් රැස්කරමු කියලා. නමුත් එදා අපි රැස්වුණාට පසු මෙම රැස්වීම අද වනතුරු රැස්වෙලා නැහැ.
සෑම පුද්ගලයකුම නිවසින් පිට යන සෑම අවස්ථාවකම මුහුණු ආවරණයක් පළඳින්න අවශ්‍යයි. එය නිතර අල්ලන්න නරකයි. මේ වෛරසය අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන ස්ථාන තුලා තමයි වැඩෙන්න ක්‍රියාකරන්නේ. දුරස්ථ භාවය මීටර් දෙකක්වත් සිටිය යුතුයි.
අනෙක ගොවීයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම සඳහා සමූපකාරයත් පාරිභෝගිකයාත් සම්බන්ධවූ ක්‍රියාවලියක් ආරම්භ කරන්න මම යෝජනා කරලා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා…….. හාර්තාලයට අදට වසර හැටඅටක් වෙනවා. මෙය පසුකාලීනව සිදුවු ජයග්‍රහන රැසකට මග පෙන්වු සටනක්. අද අපේ රටේ කොවිඩ්19 ගැන කතා කරනවිට මහා සෞඛ්‍ය ඛේදවාචකයක් රටේ ඇති වෙලා තියෙනවා. මේවනවිට ලෝකයේ මිලියන දෙසිය පහක් පමණ ආසාදිත වෙලා තිබෙනවා. මෙයින් ලක්ෂ හතළියක් පමණ මියගිහිල්ලා තිබෙනවා. ඩෙල්ටා නවප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. ලංකාව ගත්තොත් තුන්ලක්ෂ හතළිස් දෙදහකට ආසාදිත වෙලා තියෙනවා. පන්දහස් පන්සීයක් පමණ මියගිහිල්ලා තිබෙනවා. මියගිය අය අතර පිරිමි 60%ක් පමණ කාන්තාවන් 40%ක් පමණ වේ. මිය ගිය පිරිසේ 60%කට වැඩිය අවුරුදු හැටට වැඩි අයයි. මියගිය අතර 95%ක්ම එන්නත් නොකළ අයයි.
අපි වමේ පක්ෂ ලෙස අපේ පක්ෂ දෙක ආණ්ඩුව විවිධ යෝජනා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා ගිය වසරේදී. මේ වසරේ මැයි මාසයේදීත් යෝජනා ඉදිරිපත් කළා. අපි රජයෙන් ඉල්ලීමක් කළා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් ඇති කරන්න කියලා. මෙම කොවිඩ් මර්දන වැඩ සටහන ප්‍රජාමූල වැඩක් කරන්න කිව්වා. කොවිඩ් මර්දනයට නිවාරණයට මුහුණු ආවරණයක් පැළඳවීම, දුරස්ථ භාවය රැකගැනීම,අත්සේදීම එමෙන්ම එන්නතක් ලබාගැනීම පවා චර්යාවන් පිළිබඳ කරුණු. පුද්ගලයින්ගේ චර්යා ලෙහෙසියෙන් වෙනස් කරන්න බැහැ. අපේ ඉල්ලීමිට අනුව ප්‍රජාව සම්බන්ධ කරගෙන සිටියානම් කොපමණ හොඳද? අපි එන්නත පටන්ගන්න කිව්වේ ගිය වසරේදීයි. ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. මේකට රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිව යුතුයි. කොවිඩ් මර්දන වැඩ සටහන ප්‍රජා මූලික වැඩසටහනක් කරගත්තේ නැහැ. පමා වෙලා පටන්ගත් එන්නත්කරණය දැන් අවුල් ජාලාවක් කරලා තිබෙනවා. මේ කටයුතු නිසා වළක්වා ගන්න තිබු මරණ වළක්වා ගන්න නොහැකිවුණා. මිනිස්සු එන්නත් ගත්තේ නැහැ නොවේ එන්නත් දුන්නේ නැහැ. එක්කෝටි දස ලක්ෂයකට පමණ ඊයේ උදේ වනවිට එක මාත්‍රාවක් හරි ලබාදී තිබෙනවා. දෙකම දුන් අය සිටින්නේ ලක්ෂ තිස්පහයි. රජයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අලුත් තීරණ අරගෙන කටයුතු කරන්න දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අවුරුදු හැටට වැඩී සෑම අයකුටම ඉදිරි සති දෙකතුන තුලදී කුමන හෝ එන්නතක් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. චන්නට අවශ්‍ය රෝගය බෝවෙන්න දීලා මිනිස්සු ටිකක් මැරෙන්න දීලා ඊට පස්සේ සාමුහික ප්‍රතිශක්තිය ගොඩ නගන එකද? එහෙම නොවේ අපි වැඩකරන්න ඕනේ රෝගය වළක්වා ගන්නයි. ඒකයි අපි රටවහන්න කියන්නේ. තව ඇමැති කෙනකු කියනවා අපි එන්නත් දෙන්නම් අනෙක් ටික දෙයියන්ට භාරදෙනවා කියලා. දෙයියන්ට ජනතාව භාරදෙන්න නම් ආණ්ඩු අවශ්‍ය නැහැ. ඉදිරි සති දෙකතුන තුල එන්නත් කරණ වැඩසටහන වේගවත් කරන්න ඊට සෞඛ්‍ය අංශයේ ඇති මුළු විභවයන්ම මුදා හරින්න. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට කියනවා තම කාර්ය හොඳින් කරන්න කියලා එම කටයුතු අවසන්වන තුරු මේ රට වහන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රට වැසුවාම අපහසුතා ඇතිවන අඩුආදායම්ලාභි පවුල්වලට ආහාර මල්ලක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා………. මෙම ගෝලීය වසංගතය තුල අපේ රටත් අනෙකුත් රටවලුත් බරපතල ආර්ථික අර්බුදයකට පත්වෙලා තිබෙනවා. ආර්ථික අර්බුදයක කළමනාකරණය කරන්න නොහැකිවුණාම එය සමාජ අර්බුදයක් බවට පත්වෙනවා. අපේ රටත් ක්‍රමිකව ඒ සමාජ අර්බුදයට ගොදුරු වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මෙපමණ භයානක වසංගතයක් හමුවේ පවා මිනිසුන් තමන්ට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්ණ ගැන කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.
මෙහිදි තමන්ගේ ආර්ථික අර්බුදය ගැන, වෘත්තීය අයිතීන් වෙනුවෙන් අරගල කරන්න පෙළඹිලා තිබෙනවා. පඩිපත වෙනුවෙන් අරගල කරන්න ඉදිරියට ඇවිත් සිටිනවා. මේ තුල ඇතිවන තවත් ප්‍රශ්න නිසා ගුරුවරුන්,ගොවීන්, සිසුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පාරට බැහැලා අරගල කරන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා රජයේ මූලික වගකීමක් වෙන්නේ මේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීම, මේ ආර්ථික අර්බුදයන්ට උත්තර සෙවීමෙන් සමාජ අර්බුදයට රට තල්ලු වීමට ඉඩ නොදී හැකි කඩිනමින් පිළිතුරු ලබාදිය යුතුයි. වසර එකහාමරක් තිස්සේ අපේ අධ්‍යාපනය බරපතල කඩාවැටීමකට ලක්වෙලා. එයිනුත් වැඩිම අර්බුදයකට පත්වෙලා සිටින්නේ ග්‍රාමීය දරුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුම් ලබාදීය යුතුයි. ඒ අයගේ ගැටලුව සාධාරණයි කියන එක තමයි අපේ මතය. ඒ නිසා පත් කල අනුකමිටුවෙන් අපි කාරුණිකව ඉල්ලනවා මේ ප්‍රශ්නයට කඩනමින් විසඳුමක් ලබාදෙන්න කියලා.