29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රවි කරුණානායකට හා ඇලෝසියස්ට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

රවි කරුණානායකට හා ඇලෝසියස්ට අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළ අධි චෝදනා පත්‍ර භාරදීම සඳහා එහි විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට නොවැම්බර් මස 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා විසින් මෙම නියෝගය කරන ලදී.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබේ. එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල සඳහන් වේ.

එම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීමෙන් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි අධි චෝදනා එල්ල කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 58 දෙනෙකු නම් කර තිබේ. නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 32 ක්ද ඉදිරිපත් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments