29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව ලබන...

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව ලබන සතියේ දින 05ක් රැස්වෙයි.

ලබන සදුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කෙරේ…

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායක අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට දැනුම්දුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 04 වැනි සඳුදා සිට 08  වන සිකුරාදා දක්වා දින 05 ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.

මේ අනුව ඔක්තෝබර් 04 වැනි සඳුදා  සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස වෙන් කර ඇත. විවිධ හේතු මත මෙතෙක් පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකිවූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක්  සදහා එදින පෙ.ව 10.00 සිට  ප.ව 4.30 දක්වා කාලය වෙන්කර ඇති බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වන අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ  මුදල් පනත යටතේ නියෝගයක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 06 වැනි බදාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) විවාදයට ගැනීමේන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම), සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද  විවාදයට ගැනීමට නියමිතය.

ඔක්තෝබර් 08 වැනි සිකුරාදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා 2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව විවාදයට ගැනේ.

මේ අතර අගහරුවාදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

තවද අගහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ආණ්ඩු පක්ෂය ද බදාදා විපක්ෂය ද ගෙන එන යෝජනාව අනුව  සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments