26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු...

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කරයි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) රැස්විය.

පළාත් සභා වසර 03 කට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් මේ වන විට රට තුළ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය. එක් අයෙකු විසින් පළාත් සභාව පාලනය කරනු ලැබීම සාධාරණ නොවේ. මේ වන විට පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව සක්‍රීයව පවති. අක්‍රීයව පවතින්නේ පළාත් සහා පමණි. ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පවතින තත්ත්වය තුළ පැරණි ජන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව  කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසුවේ ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සුදුසු බවයි. එම සංශෝධන සිදු කිරීමේදී සාධාරණ කාන්තා නියෝජනයක් ලැබෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

“බහුතර පිරිසකගේ මතය වන්නේ රටට යෝග්‍ය වන්නේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්ය” යන්න කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී කීවේය. කාරක සභාවේදී සාක්ෂි ලබාදුන් බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද එම මතයේ සිටින බව හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණ හා ජන්ද විමසීම් නීති රීතී ප්‍රතිසංස්කරණයට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමේ විද්වත් කමිටුවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සිය යෝජනා ඉදිරිපත් කළේය.

එම කමිටුව වෙනුවෙන් අදහස් දැක්වු, එහි සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ, පළාත් පාලන ආයතන වල දැනට පවතින මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩුකළ යුතුය යන්න පොදු මහජන මතය බවයි.කොට්ඨාස සංඛ්‍යාව අඩු කිරීමෙන් එය සිදු කිරීම ප්‍රායෝගික නොවන බවත්,මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩුකළ යුත්තේ සමානුපාතික නියෝජනයට වෙන්කළ කොටසින් බවත් ඔහු කාරක සභාවේදී පෙන්වා දුන්නේය. එසේම කොට්ඨාස සහ සමානුපාතික යන කොටස් දෙකෙන්ම එම මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩුකල යුතු බවට විද්වත් කමිටුවේ ඇතැම් සාමාජිකයන් විශ්වාසය පළකරන බවද ඔහු සඳහන් කළේය.  කාන්තා නියෝජනය සියයට 25 ක් ලෙස පවත්වා ගැනීම යෝග්‍ය වේ. පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ එකම ක්‍රමයක් යටතේ පැවැත්වීම සුදුසුය. පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 සීමාවේ පවත්වා ගැනීම යෝග්‍ය වෙයි. පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයන් පත් කර ගැනීමට අදාළව නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

නීතිපති දෙපාර්තමේන්තුව, සීමා නිර්ණය කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරිහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන 22 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments