28.7 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනතා විමුක්ති පෙරමුණ ගුරු අරගලයේ පිටුපසින් නෙවෙයි ඉදිරියෙන්ම ඉන්නවා-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන...

ජනතා විමුක්ති පෙරමුණ ගුරු අරගලයේ පිටුපසින් නෙවෙයි ඉදිරියෙන්ම ඉන්නවා-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරගෙන ආවා. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සුබෝධිනී කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමයි. නමුත් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කළේ අරගලය නොසලකා හරින හා සටනට අවලාද එල්ල කරන පිළිවෙතකුයි. එය දරුවන්ට එරෙහිව කරන සටනක් ලෙස අර්ථ ගන්වා ගුරුවරුන් හා දෙමව්පියන් අතර ගැටුමක් ඇති කරවීමට ආණ්ඩුව උත්සාහ කළා. ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන බවට මතයක් සමාජයට දෙන්න හැදුවා.

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතු වී ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ, ඔවුන්ගේ සාධාරණ සටන අඛණ්ඩව කරගෙන යන අතර දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අයිතිය තමන් විසින් පවරා ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමයි. ආණ්ඩුව විසින් තීරණය කරන ලද 21 හා 22 පාසල් නොයෑමටත් ඒ වෙනුවට 25වැනිදා සිට දරුවන්ට ඉගැන්වීම භාර ගැනීමට ඔවුන් රටට සහතිකයක් ලබා දුන්නා. එය ඉතාමත් නිවැරදි තීන්දුවක්. එම තීන්දුව නිසා ආණ්ඩුවේ දුෂ්ට උත්සාහයන් සියල්ල පරාජයට පත් වුණා. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරන්න හදපු විරෝධය අසාර්ථක කරන්න එමගින් හැකිවුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් ඉතාමත් නිවැරදි ලෙස තීන්දුවක් ගත්තා. එම තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළ කරනවා. රටේ ජනතාවත් විශේෂයෙන් දෙමව්පියන් මේ ගැන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තූතිය පළ කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ට වඩාත්ම ආදරය කරන්නේ තමන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූවා. ආණ්ඩුව තමන් දරුවන්ට ඉතාමත් ආදරය කරන බව පෙන්වීමට බොරුවට රඟපාමින් සිටියා. ඔවුන් දරුවන්ට ආදරය කළානම් අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කළ යුතුව තිබුණා. පාසල්වල අඩුපාඩුකම් සම්පූර්ණ කළ යුතුව තිබුණා. දරුවන්ට උගන්වන ගුරුවරුන් විසින් ඉල්ලන අවම වැටුප දිය යුතුව තිබුණා. ඒ කිසිවක් ලබා නොදී සල්ලි නාස්ති කරමින් සිටින ආණ්ඩුව අද දරුවන් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ආණ්ඩුවට වඩා තමන් වගකීම් ඉටු කිරීමට සූදානම් බව ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීරණයක් ගැනීමෙන් පෙන්වා දුන්නා.
මෑත කාලයේ වැඩිම ජනතා සහයෝගයක්, ප්‍රසාදයක් ලබා ගත් අරගලයක් බවට ගුරු විදුහල්පති අරගලය පත්වුණා. වැටුප් විෂමතා ගැටලුව විසඳන බවට පොරොන්දු වී ගුරුවරුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණි ආණ්ඩුව එම අරගලය හමුවේ කටයුතු කළේ ඉතාමත් දුෂ්ට හා මර්දනකාරී ආකාරයෙනුයි. උද්ඝෝෂණවලදී පොලීසිය ලවා ගුරුවරුන් ගුරුවරියන් අත්අඩංගුවට ගත්තා. නිරෝධායන නීති කැඩූ බවට රිමාන්ඩ් කළා. ආණ්ඩුව නිරෝධායන නීති ඇති තරම් කඩමින් සිටියෙදී නිරෝධායන නීති රකිමින් අරගලයේ යෙදුණු ගුරුවරුන්ට හිරිහැර කළා. නමුත් මෙයින් සිදු වූයේ ගුරු අරගලය තවත් මුවහත් වීම පමණයි. එය මෑත කාලයේ ශක්තිසම්පන්නම, සටන්කාමීම සහ සමගිසම්පන්නම අරගලය බවට පත් වුණා. අදටත් ඔවුන් එලෙසම ඒ සටනේ සිටිනවා. නමුත් ආණ්ඩුව තමන්ට හිතවත් සමාජ මාධ්‍ය, කුලී ලියන්නන් පාවිච්චි කරමින් ගුරු සටනට දිගින් දිගටම මඩ අවලාද නැගුවා. ගුරු පොකුරු හැදුණු බව, මිය නොගිය අය පාවිචිචි කරමින් මරණ දැන්වීම් පවා හැදුවා.

මෙයින් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විරෝධය වැඩි වුණා. ආණ්ඩුව ගුරුවරුන් හා දෙමව්පියන් අතර ගැටුමක් හදන්න හැදුවේ ඉන් පසුවයි. ආණ්ඩුව ඔක්තෝබර් 21 පාසල් කොටසක් විවෘත කරන්න තීන්දුවක් අරගෙන ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය නොසලකන බව පෙන්වන්න හැදුවා. ඒ වෙනුවෙන් නාට්‍යමය ජවනිකා කිහිපයකුත් හැදුවා. ඇමතිවරුන්ගේ හෙංචයියන් දෙමව්පියන් ලෙස රඟපාමින් මෙවැනි මත සමාජයට ගෙනියන්න හැදුවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීන්දුවක් අරගෙන ආණ්ඩුවේ උත්සාහය පරාජය පත් කරන්නේ මෙවැනි මොහොතකයි. ගුරු – විදුහල්පතිවරු ඉදිරියේ ආණ්ඩුව නැවත වතාවක් පරාජයට පත් වුණා. ජනතාවගේ ගෞරවය දිනා ගනිමින් සටන් කරන්නේ කොහොම කියන එකට මෙම සටන ආදර්ශයක් ලබා දෙනවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් අත්‍යාවශ්‍ය සටනක් තිබියෙදීත් දරුවන්ට ඉගැන්වීමේ වගකීම තමන්ට පවරා ගත්තා.

එමගින් මේ සටනේ සාධාරණත්වය යටපත් කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකියි. විවිධ සටන් ක්‍රම, නව ආකෘති ඔස්සේ ඒ සටන ඉදිරියට යා යුතුයි. ලැබිය යුතු වැටුප් වැඩි වීම තුනට බෙදා එයින් පළමු පියවර ලෙස එක කොටසක් ලබා ගැනීමට ගුරුවරුන් විදුහල්පතිවරුන් කැමැත්තෙන් හිටියා. නමුත් ආණ්ඩුව තුනෙන් එක, තුනට බෙදා ගෙවන්න හැදුවා. ඒ කියන්නේ නමයයෙන් එකක්. ඉලක්කමෙන් කිවුවොත් එයින් මාසෙටම වැඩි වෙන්නේ රු. 1250යි. නමුත් ආණ්ඩුව ගෑස් පමණක් රු. 1257කින් මිල ඉහළ දැමුවා. මෙය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල වැඩි වී තිබෙන මොහොතක්. ආණ්ඩුව ජනතාව මත බර පටවන්න, උදව් කළ ජාවාරම්කාරයින්ට උදව් කරන්න සූදානමින් සිටියත් ගුරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට සූදානම් නැහැ. මෙය ජනතා විරෝධී ජාවාරම්කරයින්ගේ ආණ්ඩුවක්. සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට වසරකට වැය වෙන්නේ රු. බිලියන 64යි. මාසයකට අවශ්‍ය වෙන්නේ බිලියන 05ක් වැනි මුදලක්. ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින නාස්තිකාරී වියදම් හමුවේ මෙය කුඩා මුදලක්. ආණ්ඩුව ඩොලර් මිලියන ගණන්වලින් ණය ගනිමින් සිටිනවා. නමුත් අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් සිටින ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමට සුළු මුදලක් වෙන් කිරීමට සූදානම් නැහැ.

අනෙක් අතට ආණ්ඩුව කෝටි ගණනින් මුදල් අච්චු ගසමින් සිටිනවා. පසුගිය 15වැනිදා පමණක් රු. බිලියන 19.63ක මුදල් මුද්‍රණය කොට තිබෙනවා. මේ ආණ්ඩුව පැමිණි මාස 12ක 14ක කාලය තුළ පමණක් රු. බිලියන 1300ක මුදල් මුද්‍රණය කොට තිබෙනවා. ආණ්ඩුවේ සුඛ විහරණය වෙනුවෙන්, උත්සව වෙනුවෙන් මෙම මුදල් නාස්ති කරනු ලබනවා. ලබන වසරේ ඡන්දයක් ඒමට නියමිත නිසා ආණ්ඩුව තමන්ගේ ප්‍රාදේශීය දේශපාලකයන්ට මුදල් ලබා දෙමින් සිටිනවා, ජොගින් පාත් හදනවා වගේ වැඩවලට. ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ කා වෙනුවෙන්ද කියන එක තේරුම් ගැනීමට මේ උදාහරණයම ඇති. ඒ වගේම පැන්ඩෝරා පේපර්ස්වලින් හෙළිවූ නිරූපමා රාජපක්ෂගේ වත්කම් රු. බිලියන 35ක්. ගුරුවරුන්ට වැටුප් ගෙවන්න හැකි තරම් මුදලින් භාගයක් එක්කෙනෙක් විතරක් හොරකම් කරගෙන.

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු

ජනතා විමුක්ති පෙරමුණ ගුරු අරගලයේ පිටුපසින් නෙවෙයි ඉදිරියෙන්ම ඉන්නවා. ගුරු-විදුහල්පති අරගලය කියන්නේ සාධාරණ අරගලයක්. ඒ සාධාරණ අරගලවල ඉදිරියෙන්ම අපේ පක්ෂය ඉන්නවා. ජනතාව වෙනුවෙන් අරගල කරන එක දේශපාලනය තමයි. නමුත් ගුරුවරුන්ගේ ඉල්ලීම් දේශපාලනයට යොදා ගත්තේ ආණ්ඩුව. ආණ්ඩුව තමයි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ඉල්ලීම් ලබාදෙනවා කියලා සඳහන් කළේ. දැන් ඒවා ලබානොදී වෙන චෝදනා කළාට හරියන්නේ නැහැ. අපි මේකෙන් දේශපාලන වාසි ගන්නවා කියලා ආණ්ඩුව කියනවානම් ආණ්ඩුවට කරන්න තිබෙන්නේ ගුරුවරුන්ගේ මේ ඉල්ලීම් ලබාදීලා ඒ වාසය ආණ්ඩුව ගන්න එක. එතකොට මේ ප්‍රශ්නය ඉවරයි.

රට පාලනය කරනවා තියා දැන් ගෝටාභය රාජපක්ෂට සහල් මිල පාලනය කරගන්න බැරුව ඉන්නේ. ආණ්ඩුව සම්බන්ධ මාධ්‍ය සංවිධාන සහ පුද්ගලයින් ඡන්දය කාලේ ඇවිත් අපිට මොනවද කිව්වේ. ගෝටාභය රාජපක්ෂ තමයි දක්ෂම පුද්ගලයා කියලා. දැන් ඒ කතා මිත්‍යාවක් කියලා හෙළිවෙමින් තියෙනවා. ගල්පිළිම පෙන්නුවාට ඒක බොල් පිළිමයක් කියලා දැන් ජනතාව දන්නවා. ඒ නිසා හාල් මිල වැඩි කරන්නේ ආණ්ඩුව සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් විසින්. ගහපු ගැසට් අයින් කළේ අපි නෙවෙයි ආණ්ඩුව. බන්දුල ගුණවර්ධන කිව්වා හාල් මිග ගැන ආයේ කතා කරන්නේ නැහැ කියලා. ඒ නිසා ආණ්ඩුවට දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. මේක පසුය ආණ්ඩු සියල්ලම අපේ රටට කරපු හානියක්. සතොස විනාශ කළා. රජයේ ව්‍යාපාර වහලා දැම්මා. දැන් පෞද්ගලික ව්‍යාපාර ඒකාධිකාරයක් නිර්මාණය වෙලා. රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර සහයෝගයක් නැත්නම් ජනතාවට සහන දෙන්න බැහැ.

රසායනික පොහොර නැවැත්වීම ඉතා හොඳ තීරණයක්. නමුත් අවුරුදු 35ක් 40ක් පමණ රසායනික පොහොර වලට හුරු වෙච්ච කෘෂිකර්මය එක රැයකින් වෙනස් කරන්න බැහැ. ඒක පියවරෙන් පියවර කළ යුතු දෙයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් කියලා තිබුණා වියත්මඟ ජනාධිපතිතුමාට ලණුවක් දීලා කියලා. ඒ නිසා කාබනික වගාව කියන හොඳ සංකල්පය වැරදි විදියට කරන්න ගිහින් ගොවියට මේක එපා කරවලා තියෙන්නේ. ආණ්ඩුව කළේ හරියට කලිසම මහන්න කලින් සරම ගලවලා දැම්මා වගේ වැඩක්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments