“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ (19) නිකුත් කල පුවත හා සබැඳේ
කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ සිදුවූ අනතුර හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි බවට පැවසෙන අනෙක් ධීවරයා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කළ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටී.
අනතුර හේතුවෙන් මුහුදේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුළ සහ ඒ අවට (19) උදෑසන නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පරීක්‍ෂා කිරීම් සිදුකළ අතර, එම පරීක්‍ෂා කිරීම් මඟින් ද අනතුරට පත් ධීවරයා සොයා ගැනීමට නොහැකි විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් වේග ප්‍රහාරක යාත්‍රා යෙදා ගනිමින් සෙවීමේ හා මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්ද මෙම අතුරුදන් වූ ඉන්දීය ධීවරයා සොයා ඉන්දීය මුහුදු ප්‍රදේශය තුළ පරීක්‍ෂා කරනු නිරීක්‍ෂණය විය.
තවද, මෙම අනතුරින් මුදා ගන්නා ලද ඉන්දියානු ධීවරයින් දෙදෙනා (02) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් 18 වන දින රාත්‍රියේ ගොඩබිමට රැගෙන ඒමෙන් පසු (19) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කයිට්ස් පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.