ඇමරිකානු ජනාධිපතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මේ වනවිට ඒ පිළිබඳ උණුසුම වඩාත් උත්සන්න වෙමින් තිබේ. මෙම පසුබිම තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට දැන් ඇමරිකාවේ ජනප්‍රියම හිටපු ජනාධිපතිවරයකු වන බරක් ඔබාමාද එක්ව සිටියි. ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂකයා වන බයිඩන්ට සහය දක්වමින් ඔබාමා පසුගිය බදාදා (21) ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ රැලියකට සහභාගි වී තිබිණි. මේ ආකාරයෙන් ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියකට එක් වූයේ පළමු වතාවටයි.
එහිදී ඔහු එක් අවස්ථාවක ට්‍රම්ප් ‘පිස්සු අන්කල්’ කෙනෙකුට සමාන කරමින් කතා කර තිබූ බැව්ද සඳහන් වේ. තමුන්ට සහය නොදක්වන අයට අපහාස කරන, ඔවුන් හිරේ දැමීමට තර්ජනය කරන ජනාධිපතිවරයකු, බයිඩන් ජයගතහොත් අපට නොලැබෙනු ඇතැයි ඔබාමා සඳහන් කර තිබුණේ ට්‍රම්ප් විවේචනයට ලක් කරමිනි. එවැනි හැසිරීමක් ජනාධිපතිවරයකුට නොගැලපෙන බවද ඔහු පවසා තිබිණි. එවැනි හැසිරීමක් පළකරන කෙනෙකු තම පවුලේ සාමාජිකයන් අතර සිටියත් කිසිවකු අනුමත නොකරනු ඇති බවත්, එවැනි කෙනෙකු ‘පිස්සු අන්කල්’ කෙනෙකු ලෙස සලකනු ඇති බවත් ඔහු තවදුරටත් පවසා තිබේ. මෙවැනි හැසිරීම් සමාජයේ සෙසු අයද ප්‍රචණ්ඩත්වයට පොලඹවනු ඇති බවත්, සමාජය තුළ බෙදීම් සහ ජාතිවාදී ධාරාවන් ඇති කිරීමට උදව් වනු ඇති බවත්, සමාජ රටාව අවුල් කිරීමට හේතුවනු ඇති බවත් ඔබාමා සඳහන් කර ඇත.
මේ අතර ගැස්ටෝනියා නමැති නගරයේ පැවැති රැලියකට සහභාගි වූ ට්‍රම්ප් ද හිටපු ජනාධිපති ඔබාමා වෙත ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබිණි. ඔහු සඳහන් කර තිබුණේ ඔබාමා 2016 ජනාධිපතිවරණය අවස්ථාවේදීද වරද්දා ගත් බවයි. ‘එදා ඔබාමා තරම් හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ප්‍රචාරය ලබාදුන් තවත් කෙනෙකු සිටියේ නැහැ’ යයි සඳහන් කර තිබූ ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හිලරි ක්ලින්ටන්ටත් වඩා කනගාටු වූ පුද්ගලයා ඔබාමා යයි තමා විශ්වාස කරන බවද පවසා තිබිණි. මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 3 වැනි දිනයි. මේ අතර ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තවත් ප්‍රසිද්ධ විවාදයක් ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.