29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය...

විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගෙවා ඇති මුදල  රුපියල් මිලියන 3352.92 ක් – කෝප් කාරක සභාවේදී අනාවරණය වෙයි.

විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගෙවා ඇති මුදල  රුපියල් මිලියන 3352.92 ක් කෝප් කාරක සභාවේදී අනාවරණය වෙයි.

විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් හා විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3352.92 ක මුදලක් විවිධ ආයතනවලට ගෙවා ඇති බව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැති කෝප් කාරක සභාවේදී අනාවරණය විය.

කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එම මුදලින් රුපියල් මිලියන 2300.53 ක මුදලක් මිල්ලනිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වැය කර ඇත. අනෙකුත් රුපියල් මිලියන 1052.39 ක මුදල බිංගිරිය අපනයන සැකසුම් කලාපය වෙනුවෙන් වියදම් කර තිබේ.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමට යෝජිත භූමියේ හිමිකාරිත්වය හෝ නිරවුල් කර ගැනීමකින් තොරව මෙපමණ මුදලක් වියදම් කිරීම සමබන්ධයෙන් කාරක සභාව දීර්ඝ වශයෙන් සාකච්ජා කළේය.

මිල්ලනිය අපනයන සැකසුම් කලාපයට අදාළව ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට රුපියල් මිලියන 91.61 ක මුදලක් ගෙවා ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2088.39 ක මුදලක් සේවා ආයතන වෙත ගෙවා තිබුණු බවද එහිදී හෙළි විය.

ගිවිසුම්වලට ඇතුළත් වීමකින් තොරව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් වැය කලේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.

මේ වන විට එම අදාළ ආයතන සමඟ ගිවිසුම් වලට එළඹ ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා මෙහිදී කීවේය.

එමෙන්ම මෙම මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කෝප් කාරක සභාවට මාස 03 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

බිංගිරිය අපනයන සැකසුම් කලාපයට අයත් ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ කටයුතු මේ වන විට මන්දගාමි වීම  සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

2020 වසරේ දෙසැම්බර් 31 වැනි දිනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන 12 ක, වසාදමන ලද හෝ අත් හිටුවන ලද හෝ ගිවිසුම් අවලංගු කළ හෝ ව්‍යාපෘති සංඛ්‍යාව 484 ක් බවද මෙම කාරක සභාවේදී අනාවරණය විය.

ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනිමින් විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයන් 07 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ සභාපතිවරයා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළේය.

එවැනි සිදුවීම් මඟින් ආයතනයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, නාලක ගොඩහේවා, ඩි.බී හේරත් , ඩී.වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, ආචාර්‍ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත, එස්.එම් මරික්කාර්, එස්.රාසමාණික්‍යම් යන මහත්වරු ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්ද , රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද එකව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments