25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්තුව තුළ සංඥා භාෂාව භාවිතා කිරීමට මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීම ඉටුවීම සම්බන්ධව...

පාර්ලිමේන්තුව තුළ සංඥා භාෂාව භාවිතා කිරීමට මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීම ඉටුවීම සම්බන්ධව ස්තුතිය පල කරනවා-රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මෙරට ජීවත්වන ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් සංඥා භාෂාවෙන්ද විකාශය කළ යුතු බවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ඒ පිළිබඳ ගරු කථානායකතුමාට සිය සංසදයේ ස්තූතිය පල කරන බවත් එම සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.

ඒ අනුව මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය හිමිවී තිබේ. ඒ අනුව එළඹෙන 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය රූපවාහිනී සජීවී විකාශය සහ අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට නියමිතය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේදී රටේ සියළුම පුරවැසියන් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ආබාධ සහිත පුද්ගලයන් සඳහා පාර්ලිමේන්තුවට පැමිණිමේ පහසුකම් සලසාදීම පිළිබඳවද මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත් කර ඇති යොජනා ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බව තම විශ්වාසය බව අමාත්‍යවරිය සඳහන් කළාය.

රාජ්‍ය සේවයේ සිටින තරුණ දෙමාපියන්ගේ පහසුව පිණිස සියළු රාජ්‍ය ආයතන වලට අනුබද්ධව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිනි.ඒ මගින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකබව වැඩිදියුණු කළ හැකි බව මන්ත්‍රීවරියන්ගේ අදහස විය.

රට තුළ අපචාර සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීමේදී කාන්තාවන් සහ ළමයින් පීඩාවට පත් නොවන අයුරින් අදාළ කටයුතු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරියන් විසින් පෙන්වා දෙන ලදී. විශේෂයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි පටිගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කළ යුතු බවට ද මෙහිදී අදහස් පල විය.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා පාලන වැඩසටහන විසින් මෙහෙයවන ශ්‍රී ලංකාවේ පිළිකා අවදානම අවම කිරීම සහ කලින් හඳුනා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමටද ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරයන් වෙත විවෘත ආරාධනාවක් කිරීමටද මන්ත්‍රීවරියෝ එකඟ වූහ.

මෙම රැස්වීමට තලතා අතුකෝරළ, රෝහිණි විජේරත්න, ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සමාජිකාවෝ සහ සංසදයේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments