28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්වසංගතයෙන් ඇති වූ බලපෑමෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි-...

වසංගතයෙන් ඇති වූ බලපෑමෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කයයි- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කය වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද(16) දින පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

මෙවර අය-වැය මගින් ඉදිරිපත් කර ඇති  ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වර්ෂය තුළ හා ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා සිය කතාවේ දී විශ්වාසය පළ කළේය .

අය-වැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා   පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය

ගරු කථානායකතුමනි,

ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද  2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි.

බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා  ඇති කරමින් සමස්ත ලෝකයටම  බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ.

ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.

ගරු කථානායකතුමනි,

සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ  දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා.

අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

රාජ්‍ය අංශයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා.

අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී  අපිට සිදු වුණා.

එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි,

අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා.

ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.

එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.

විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments