බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගන්නා ලැබු 12 වන ආධුනික II පෙළ ජේලර් හා ආධුනික II පෙළ පුනරුත්ථාපන නිලධාරීන්ගේ විසිරයාමේ නිල පෙරට්ටුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් (26)පැවැත්විණ.
මෙම නිලධාරීන් සඳහා ගිනි අවි පුහුණූව, කැරලි මර්ධනය පිළිබඳ විශේෂ කාර්ය බලකාය පුහුණුව ලබා දී ඇති අතර, ගිනි නිවීමේ විශේෂ පුහුණුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය මගින් සිදු කළේය. එම විසිර යෑමෙන් පසු ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් මෙහෙයවන විනය ආරක්ෂාව සම්බන්ධ විශේෂ පුහුණුවකට මෙම පිරිස සම්බන්ධ කිරීමට කටයුතු කරනු ලැබු අතර, ආධුනික II පෙළ ජේලර් පිරිමි නිලධාරීන් 65ක්, කාන්තා නිලධාරිණියන් 05 ක් හා II පෙළ පුනරුත්ථාපන නිලධාරින් පිරිමි 12ක් කාන්තා නිලධාරිනියන් 2ක් මාස 4ක පුහුණුවෙන් පසු විසිරයාම සිදුවූහ.
මෙම අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සාර්ථක පුහුණුවකින් පසු විසිර යන නිලධාරීන් හට සුවිශේෂී වගකීම් සමුදායක් පැවරී ඇති බවයි. වර්තමානයේ පවතින ලෝක වසංගතය හමුවේ වුවද මෙම ක්ෂේත්‍රය සඳහා ලබාදී ඇති ප්‍රමුඛත්වය සලකා බලා මෙම බඳවා ගැනීම් සිදුකර ඇති බව සඳහන් කළ සබ්‍රී මහතා මෙම තනතුරට අනුව ඔබට පැවරී ඇති රාජකාරීය සහ පුරවැසියකු ලෙස ඔබට ඇති යුතුකම මනාව තේරුම් ගෙන රාජකාරී කටයුතු සිදුකළ යුතු අතර බන්ධනාගාර ගත රැඳවියන් ආරක්ෂා කිරීමට කැපවිය යුතු බවත් “සිරකරුවෝද මුනුෂ්‍යයෝය ” යන්න තාප්ප වලට පමණක් සීමා නොවිය යුතු බවත් සිරකරුවන් සැබෑ ලෙසම ආරක්ෂා කිරීමට කැපවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. සියලුම මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි අතර එම වැරදි නිවැරදි කර ගනිමින් නැවතත් යහපත් පුරවැසියන් ලෙස රැඳවියන් සමාජගත කිරීම සඳහා නීතිගරුක නිලධාරීන් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද එතුමා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා, අධිකරණ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් ඇතුලු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්වූහ.