26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිස්ත්‍රික්ක අතර සංචරණ අත්හිටුවෙයි : කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී තීරණය කරයි

දිස්ත්‍රික්ක අතර සංචරණ අත්හිටුවෙයි : කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී තීරණය කරයි

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමේදී තීරණය කෙරුණා.

එම රැස්වීමේදී ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගෙන තිබෙනවා.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ.  

මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුය. ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට නියම කරයි.

කොවිඩ් 19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි විය. 

එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. 

එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී දීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවද එතුමා අවධාරණය කළේය. 

පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින්  PCR පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල  සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. 

ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය.
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබේ.

රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුවද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරුණා. 

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබ ඇත.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිතුමා විසින් පොලීසියට උපදෙස් දෙනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments