ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් පැවැති නිලධාරී හිඟයට පිලියමක් වශයෙන් බඳවාගනු ලැබූ සුරාබදු පරීක්ෂකවරුන් 38 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා විසිර යන ලදී. 2022 අංක 01 පාඨමාලාව යටතේ ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේ තුන් මස් පුහුණුවක් හදාරණ ලද මෙම නවක සුරාබදු පරීක්ෂක කණ්ඩායමට පරීක්ෂකවරුන් 37 දෙනෙකු හා එක් පරීක්ෂිකාවක් අයත්වී සිටිති.
උපාධිධාරීන් අතරින් අයදුම් පත් කැඳවා විවෘත තරඟ විභාගයකින් හා අනතුරුව පැවැති සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගනු ලැබූ මෙම නිලධාරීන්හට ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේදී රාජ්‍ය පරිපාලනය, සුරාබදු පරිපාලනය, අපරාධ නීතිය, නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණ රාජකාරී, මධ්‍යසාර තාක්ෂනය, ගණ සරඹ හා ආත්මාරක්ෂක සටන් ක්‍රම ආදී බහුවිධ විෂයයන් යටතේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙනු ලැබිණි. අදාළ පුහුණුවෙන් පසුව පවත්වන ලද සුදුසුකම් ලැබීමේ විභාගයකින් පසුව එම නිලධාරීන් දිවයින පුරා විසිර යන සේ පුරප්පාඩු සහිත සුරාබදු ස්ථාන හා සුරාබදු ඒකකවලට අනුයුක්ත කරනු ලැබිණි.
ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේදී පැවැති මෙම විසිර යාමේ උත්සවය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨතම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් චාම් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වන ලද අතර, එය ගණ සරඹ පෙළපාලියකින් හා ආත්මාරක්ෂක සටන් ක්‍රම සංදර්ශනයකින් ද පැවැත්විණි.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය බදු ආදායම් දෙපාර්තමේන්තු අතර තුන්වන ස්ථානය දරන අතර, සමස්ත දිවයිනම ආවරණය කරමින් මධ්‍යසාර හා දුම්කොළ කර්මාන්තයන්හි නියාමනයත්, මත්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කිරීමත් සිදුකරනු ලබයි.


