23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අර්බුද හමුවේ ඉවසීමෙන් කටයුතු කරමු-අමාත්‍ය දිලුම් අමුණුගම

අර්බුද හමුවේ ඉවසීමෙන් කටයුතු කරමු-අමාත්‍ය දිලුම් අමුණුගම

වසංගත තත්වයේ බලපෑම සහ රටක් ලෙස දීර්ඝ කාලීනව ඇතැම් පාලන යුගයන් තුළ ක්‍රියාත්මක වූ අසංවිධානාත්මක සහ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් වර්තමානය වන විට දැඩි ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතර එම තත්වය හමුවේ සමස්ථ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටීම පිළිබඳව සංවේදී රජයක් ලෙස දැඩි ලෙස කනගාටුවට පත්වන බවත් පවතින තත්වය එසේ වුවද මෙම කරුණු පිළිබඳව ඉතා ඕනෑකමකින් සොයාබලා ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කොන්දේසී විරහිතව කැපවෙන අතරම මෙම අසිරු අවස්ථාවේ ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අදහස් දක්වමින්,

“යම් හේතුවක් නිසා ගොඩබාන්න තිබුණු තෙල් මෙක්ට්‍රින් ටොන් 37,000 ක් පමණ ගොඩබාලා නෑ. අපි ජනතාවට කියන්නේ මේ දින කිහිපය තුළ ඉවසිල්ලෙන් කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් අපිට සහතිකයක් දෙන්න පුළුවන් 04 දා ඉඳලා බාධාවකින් තොරව ඉන්දීය ණය ආධාර ක්‍රම යටතේ අවශ්‍ය ඉන්ධන අපිට ලැබෙන්නට නියමිතයි. 05 වැනි දායින් පසුව අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන් මෙය යථා තත්වයට පත්වෙයි කියලා. පෙට්ට්‍රෝලියම් එකත් සූදානම් වෙලා තිබෙනවා ඉන්ධන හිඟයකින් තොරව ලබා දීමට.
ඒ වගේම සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රවලට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට කණගාටුවෙන් වුනත් දැනුම් දෙන්න සිදුවෙලා තියෙන්නේ අර්බුදකාරි තත්වය හමුවේ මේ දින කිහිපය තුළ අපි ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඕන වෙනවා.
විපක්ෂයෙන් වරින්වර අපිට චෝදනා එල්ල කෙරුවා. මෙය ගෝලීයව බලපා තිබෙන තත්වයක්. ඕනෑම රටකට මේ තත්වය බලපා තිබෙනවා. වසංගත තත්වයක ස්වභාවයක් ඒක. වසංගත තත්වය උග්‍රවීමත් සමඟ විවිධ ප්‍රශ්න ඇති වුණා. නමුත් වසංගතයේදී අපේ රටේ මරණ ප්‍රමාණය වැඩි වුණේ නෑ. අපි මේ තත්වයේදී වෙනම ප්‍රදේශ වෙන් කරලා යුධ හමුදාව මේ සඳහා යොමු කරලා වසංගතය පාලනය කලා. ඒ වගේම අපි සියලුම වර්ගයේ එන්නත් වර්ග ලබාගෙන ඒ එන්නත්කරණය ආරම්භ කෙරුවා. අද සෑම දෙනාටම එන්නත් 03 ක් ලබා දෙන තත්වයට පත්වෙලා තිබෙනවා. මේ සෑම දේම සඳහා පෝලිම් ඇති වුණාට ඒවත් සාර්ථකව මැඩපවත්වන්නට රජයට හැකි වුණා. ඒ වගේම ලෝකයේ හැම රටකටම ආහාර පෝලිම් ඇති වුණා. නමුත් ලංකාවේ වාසනාවට එහෙම ආහාර ද්‍රව්‍ය පිළිබඳව පෝලිමක් ඇති වුණේ නෑ.
ඩොලර් හිඟතාවය නිසා අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ කළමණාකරණය කරන්න සිදුවෙලා තිබෙනවා. මෙහිදි ප්‍රමුඛතාවය ලබා දෙන්න සිදුවෙන්නේ බෙහෙත් ද්‍රව්‍ය වලට සහ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වගේම පසුවට ප්‍රධාන සැපයුම්වන ගෑස්, ඉන්ධන දේවල් සඳහයි. මේ සඳහා ගෙවීමේදී යම් යම් අපහසු තැන්වලට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අපේම කණ්ඩායමේම සමහර පිරිස හෙළි නොකළ යුතු දේවල් ප්‍රකාශ කරපු නිසායි ප්‍රශ්න ඇති වුණේ. අද මේ සඳහා මුදල් ගෙව්වට පස්සේ තමයි තෙල් බාන තත්වයට පත්වෙලා තිබෙන්නේ. මෙයයි සැබෑ අර්බුදකාරි තත්වය.

හැබැයි අද ඩොලර් ඇති වීම ආරම්භ වෙලා තිබෙනවා. අද විදේශ සංචාරකයින්ගේ පැමිණිමේ ප්‍රමාණය 45% දක්වා වැඩිවෙලා තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීම් යම් මට්ටකට සීමා කරලා තිබෙනවා. මේ කරන සමහර වැඩවලින් මෙය කඩාකප්පල් වෙනවා. අද සංවිධානාත්මකව නොයෙකුත් කඩාකප්පල් ක්‍රියාවලියන් සිදු වෙනවා. මෙවැනි දෙවල් නිසා සංචාරකයින් එන ප්‍රමාණය අඩුකරලා, රටට පැමිණෙන ඩොලර් ප්‍රමාණය වළක්වන්නත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න කණ්ඩායම් සිටිනවා රට දුර්වල කිරීමේ අරමුණෙන්. ඒ අතරේ බහුතරේ නැති කරන්න තවත් නොයෙකුත් දේවල් ඇති කරන්නත් තම තමන්ගේ මත ගැටුම් නිසා උත්සහ කරන කණ්ඩායමුත් ඉන්නවා. ඒ පිරිස් අපේ සමීප මිත්‍රයෝ. ඒ පිරිසට අපි මුකුත් කියන්නේ නෑ. නමුත් අපෙත් මත ගැටුම් තියෙනවා. නමුත් එහෙම වුණා කියලා පහුවදා සිට තමන්ගේ පිළිට ගහන්න හොඳ නෑ.
කෙසේවෙතත් මේ අවස්ථාවේ ජනතාව යම් පිඩාකාරි තත්වයක සිටිනවා. එය රජය වගකිමක් ලෙස ගන්නවා. අපි පුළුවන් තරමින් ඉක්මණින් ජනතාව මේ පිඩාකාරි තත්වයෙන් ගලවගන්න උත්සහ කරනවා. අලුත් අවුරුද්ද සමය සඳහාත් සහන වැඩපිළිවෙළක් රජය සැලසුම් කරලා තිබෙනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා අදහස් දක්වමින්,
“මේ රටේ ජනතාව බොහෝම අමාරුවෙන් සිටින අවස්ථාවක් කියලා අපි දන්නවා. අපිට ඡන්දය දීපු ජනතාව ආණ්ඩුවට , ජනාධිපතිතුමාට බනින්නේ ඔවුන්ගේ හිතේ අමාරුවට සිදු කරන්නේ. එයට අපි ඒකට ආණ්ඩුවක් හැටියටත් ජනාධිපතිතුමාත් උරුන වන්නේ නෑ. රටේ ඇතිවෙලා අර්බුදයත් එක්ක අපි බැනුම් අහනවා. මෙය වර්තමාන ජනාධිපතිතුමාගේත් ආණ්ඩුවෙත් වරදක් නොවේ. මෙය සිරිමාවෝ මැතිණිය 70,77 කාලයේ මේ රට ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගන්න, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න හදපු අවස්ථාවේ ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා විවෘත ආර්ථිකයක් ගෙනාපු නිසා එදා සිට අපේ රට ණය වුණා. අවසානයේ ඒ ණය එකතතුවෙලා එකතුවෙලා ඇවිල්ලා වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ එතුමා රට හොඳට කරගෙන එන විට මේ කොවිඩ් අර්බුදයත් එක්ක ලෝකයම වැහුණා. ඒ අවස්ථාවේ එකපැත්තකින් අපිට ඇමරිකන් ඩොලර් වලින් ණය ගෙවන්න සිදු වුණා. තිබෙන සංචිතවලින් රටේ ජනතාව බලාගන්න සිදු වුණා. අදායම අඩු වුණා. එයින් අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා අර්බුදයෙන් ගොඩ එන්න සැලසුම් හදලා ගොඩ එන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා මිසක් ආණ්ඩුවට බැන බැන හිටියට වැඩක් නෑ. ලංකාවට ඩොලර් ගෙන ඒමට සැලසුම් කරලා ඒ පිළිබඳව වැඩපිළිවෙළක් හදන්න කටයුතු කරන්න අවශ්‍ය. අපි මේ වන විට අප්‍රේල්, මැයි මාසයේ ආණ්ඩුවක් විදිහට රු. 5000 ගාණේ පවුල්වලට ලබා දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම තමයි පුළුවන් විදිහට ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වනවා. කොවිඩ් එකත් එක්ක වැටුණු ආර්ථිකය යළි ගොඩනගන්න අපි වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා.
අද අර්බුදය මතු වුණාට පස්සේ අතිගරු ජනාධිපතිතුමා මොනතරම් මේරට ආරක්ෂා කරගන්න , මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න කැපවෙනවා ද කියන එක අපි පෞද්ගලිකව දන්නවා. මුදල් අමාත්‍යතුමාත්, අගමැතිතුමාත්, මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුත් විශාල කාර්යභාර්යයක් කරනවා මේ අර්බුදයෙන් මේ රට ගොඩගන්න. ඒ වගේම මේ අර්බුදයෙන් ගොඩ යන්න අපි හැමෝම එකතුවෙලා කටයුතු කරනවා මිසක් නැතිනම් ආණ්ඩු පෙරලන්න කටයුතු කරන එක නොවේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපිට පුළුවන් රටේ ජනතාවට ඉක්මණින් සහන සලසන්න. ඒ කාර්යය අපි ඉෂ්ඨ කරන.” යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments