දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ආර්ථික අර්බුදයට විසඳුම් නොදෙන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන බව ත්‍රෛනිකායික මහානාහිමිවරු ජනාධිපතිවරයාට , අග්‍රාමාත්‍යවරයාට විපක්ෂ නායකවරයාට හා පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.
ඒ, රට තුළ උද්ගතවී ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසදීමෙහිලා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවකිනි.
සියම් මහා නිකායේ, මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල , අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන , අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩංපහළ චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා රාමාඤ්ඤමහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහානාහිමිවරුන්ගේ අත්සනින් මෙම යෝජනාවලිය නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ රට තුළ පවත්නා වත්මන් සමාජ , ආර්ථික හා දේශපාලණික අර්බුධ විසඳා මහජනතාවට කඩිනම් සහන සැලසීමට ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් තමන් වහන්සේලා විසින් අප්‍රේල් 04 වැනිදා ජනාධිපතිවරයාට යොමු කළ බවය.
එහෙත් එම යෝජනා පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳව මහනාහිමිවරුන් සංවේගය පල කර තිබේ.
ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුධ මෙන්ම පෝලිම් වල රැදී සිටිමින් මිය යන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල් මරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රට වාසින් අත්විඳින පීඩාවට රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙක්ම වග කිය යුතු බව මහානාහිමිවරුන් පෙන්වා දෙයි.
ඉදිරිපත් කළ යෝජනා මාලාව කෙරෙහි අවධානය යොමු නොකර තවදුරටත් ජනතා අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පල කරන මහානායක හිමිවරුන් සමස්ත දේශපාලන යාන්ත්‍රණයේ අවධානය පිණිස කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ එම අර්බුධ කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම තුළින් මෙම අර්බුධ කිසිසේත් නොවිසිදෙන බව මහානාහිමිවරුන් තරයේ විශ්වාස කරන බවය.
දේශයේ සුරක්ෂිතතාව හා සමෘද්ධිය උදෙසා මහජනයා විසින් සිදු කළ යුතු කැපකිරීම් අත්‍යන්තයෙන්ම සිදු කර ඇති බව මහානාහිමිවරුන් පෙන්වා දෙයි.
දැන් උදාවී ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස මහජන සුභ සිද්ධිය උදෙසා සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු මොහොතක් බව මහා නාහිමිවරුන් පෙන්වා දෙයි.
එබැවින් මෙම අර්බුධකාරි අවස්ථාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පීඩාවට පත් ජනතාව පිළිබඳව සංවේදීව රට දේශපාලණික හා ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම නියෝජිතයෙක්ම එක් සිත්ව පුර්ණ දායකත්වය ලබා දිය යුතු බවට කැපයිව යුතු බව ද මහානා හිමිවරුන්ගේ යෝජනාවලියට ඇතුළත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඉතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් අදහස් කර ඇති බවය.