28.5 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeදේශීය පුවත්මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය

මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය

මෙවර කඨින චීවර පූජාවේ දාන ශාලාව පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමි සම්ප්‍රදායික මැටි භාණ්ඩ උපයෝගී කරගෙන චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත් වීමට සැලසුම් කර ඇත. මැටි භාජන භාවිතය, ප්‍රවර්ධනය කිරීම සදහා වූ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක කඨින චීවර පූජාව හා සංඝගත දක්ෂිණාව, ඉකුත් (04) නිකවැරටිය, සුධීරගම, කොටවෙහෙර ශ්‍රී ජිනරතන සදහම් සෙවනේදී, පවත්වනු ලැබීය.

වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු ආරම්භ කෙරිණි. 

දේශීය කර්මාන්ත සහ කර්මාන්තකරුවා නගාසිටවීමේ ජාතික වැඩසටහනට, විහාරස්ථාන පුර්ණ වශයෙන් දායක කරගැනීමේ ‘පන්සලෙන් අරඹමු’ ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් දිවයිනේ විහාරස්ථාන 500 ක් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාතික නාමල් උයනෙහි නිර්මාතෘ වනවාසී රාහුල ස්වාමීන්වහන්සේ, සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවනේ අනුශාසක පුජ්‍ය මහමිතව පඥ්ඥාරතන ස්වාමීන්වහන්සේ සහ වට්ටාරම රජමහ විහාරස්ථානයේ විතාරන්දෙණියේ සාරධ යන ස්වාමීන්වහන්සේලගේ අනුශාසකතත්වයෙන් මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ සියළුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

විහාරස්ථාන වල වැඩවාසය කරන භික්ෂුන්වහන්සේලාගේ දාන කටයුතු සදහා සහ අනෙකුත් පාරිභෝජන අවශ්‍යතා සදහා දේශීය භාණ්ඩ යොදා ගැනීමත්, එම සංකල්පය ගම තුලට ගෙන යාමත් මෙහි අරමුණ වී තිබේ. නිරෝගිමත් ජාතියක් සේම, සශ්‍රික සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.

නිකවැරටිය, සුධීරගම, ශ්‍රී ජිනරතන සදහම් සෙවනේ පැවති කථින මහා පුණ්‍යකර්මය සදහා භාවිතා කරන ලද සියළුම භාණ්ඩ, මැටි වලින් නිෂ්පාදනය කර තිබුණි. මෑත ඉතිහාසයේ මෙලෙස දේශීය භාණ්ඩ භාවිතා කරමින් සිදුකරන ලද කථින පිංකම, මෙය බව ප්‍රදේශයේ වැඩවසන භික්ෂුන්වහන්සේලා  ප්‍රකාශ කරනු ලැබුහ.

මෙම අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.........
“අපේ ඉතිහාසයේ සෑම කරුණක්ම පාහේ බැදී පවතින්නේ ගමත් සමග, ඒ අතීතයේ පැවති, ‘වැවයි දාගැබයි, ගමයි පන්සලයි’ යන තේමාව යටතේ පන්සලෙන් ආධ්‍යාත්මික සංවර්ධනය ලැබෙනවා සේම, ආර්ථික සංවර්ධනය ඇතිවූයෙත් ගම තුලින්මයි, භික්ෂුන්වහන්සේලාගේ පාරිභෝජන අවශ්‍යතා සදහා දේශීය භාණ්ඩ යොදා ගැනීම තුලින් දේශීයත්වය, අපේකම නැවත වරක්, පන්සලෙන් පටන්ගෙන සමාජගත කරන්නට හැකියාව ලැබෙනවා. ආකල්පය වෙනසක් අපට ඇතිකරන්නට හැකිවුවහොත් ග්‍රාමීය කර්මාන්ත සහ කර්මාන්ත කරුවා රැකගන්නවා වගේම සෞඛ්‍ය සම්පන්න සමාජයක්ද අපට බිහිකිරීමට හැකිවනවා.”

බුදුහාමුහාමුදුරුවන්ගේ කාලයෙත් දුර්භික්ෂය ඇත්වුණාම රතන සූත්‍රය දේශණා කළා. වර්තමානයේ පවතින වසංගත තත්වය හමුවේ ජනතාවගේ කායික සුවය සදහා රජයක් විදිහට කටයුතු කරනවා සේම මානසික සුවය වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් කළ යුතුයි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ගෙන් සහ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ‘පන්සලෙන් අරඹමු’ වැඩසටහනේ සමාරම්භය සිදුවිය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments