22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රාජපක්ෂලාට අන් අයගේ දුක අවබෝධ කරගැනීමට අසමත්වීම ගැන එ.ජා.ප. මහලේකම් පාලිත ලියයි.

රාජපක්ෂලාට අන් අයගේ දුක අවබෝධ කරගැනීමට අසමත්වීම ගැන එ.ජා.ප. මහලේකම් පාලිත ලියයි.

කර්මය පටිසන් දෙමින් තිබේ. එය කරුමයක් ලෙස දකින්නට හෝ චමල් රාජපක්ෂලාට බුද්ධිය පහළ වීම පිළිබද අගය කරමි. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් සහ තමා ඇතුළු රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපොල ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දාර්ශනික අදහස් සහිත කරුණු දැක්වීමක් පසුගියදා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී. කෙසේ වෙතත් ඔවුන්ට දුක අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔවුන්ගේ වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීමයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූර වාර දෙක අවසන් වීමෙන් අනතුරව දේශපාලනයෙන් අත්මිදුනේ නම් වඩාත් හොද බවද ඔහු පවසන ලදී. සත්‍ය ජනතාව තේරුම් ගෙන තිබුණත් රාජපක්ෂවරුන්ට එය වැටහී ඇත්තේ කාලය ඉක්මයාමෙන් පසුවයි. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද පසුගියදා ප්‍රදර්ශනය කරන ලද්දේ මමත්වයේ තරමයි. ඔහුගේ හෝ පවුලේ හෝ නිවසක් දේපළක් හෝ ගින්නට හසු නොවුනානම් ඔහු ද එවැනි ප්‍රකාශයක් සිදුනොකරනු ඇත. ඒ අනුව අරගලය ලබා ඇති තවත් ජයග්‍රහණයක් වන්නේ කිසිදා සත්‍ය අවබෝධ කරනොගත් රාජපක්ෂවරුන්ට යම් දුරකට හෝ සත්‍ය මෙය යැයි අවබෝධ කර දීමට යම් ආරම්භයක් ලබාදී තිබීමයි.
නිවසක් දේපළක් ගිනි තබා විනාශ කිරීම එක්සත් ජාතික පක්ෂය හෝ පුද්ගලිකව මා ද අනුමත නොකරමි. කෙසේ වෙතත් දේශපාලන හේතූන් මත මේ දක්වා ගිනි ගැනීමට ලක්වූ නිවාස හා දේපළ කොතරම්ද යන්න රාජපක්ෂවරුන් නොදන්නවා විය හැකිය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් සිදුනොකළා විය හැකියි.
මාගේ හලාවත, මාදම්පේ පිහිටි නිවසද ආණමඩුව කාර්යාලයද 2009.10.04 දින දේශපාලන ත්‍රස්තවාදය විසින් ගිනිබත් කරන ලදී. එහි වගකිව යුත්තෝ ද රාජපක්ෂ ගෝලබාලයින්ය. මාගේ නිවස සනත් නිශෘන්ත ඇතුළු මැර කල්ලියක් විසින් ගිනිබත් කරන ලද අතර, එම පීඩනය හමුවේ මා දරුවන් සමග විදි පීඩාව කොතරම්දැයි මේ මොහෝතේ පැහැදිලි නොකරමි.
කෙසේ වෙතත් දේශපාලන ත්‍රස්තවාදය විසින් සිදුකළ මේ අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළෙමි. එවකට කතානායකවරයා වූයේ පසුගියදා මහා දුක්ගොන්නක් සභාවට ඉදිරිපත් කළ චමල් රාජපක්ෂයි. එදා මා මුහුණ දී සිටින තත්ත්වය පාර්ලිමේන්තුවට පැහැදිලි කරමින් සිටි අවස්ථාවේ රූපවාහිනී විකාශය පවා චමල් රාජපක්ෂ විසින් අත්හිටුවන ලදී. ඒ සත්‍ය ලෝකය දැනගැනීම වැලැක්වීම සදහායි.

කෙසේ වෙතත් එදා මා මුහුණ දුන් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අවස්ථාවේ උත්තරීතර කතානායක අසුනේ සිටියේ චමල් රාජපක්ෂය. එහෙත් ඔහු අද එම අසුනේ නැත. නමුත් එදා මා සිටි ආසන පේළියේ සිට රාජපක්ෂවරුන්ට අද සිදුව ඇති දුක්ගැනවිල්ල පැවැසීමට චමල් රාජපක්ෂට සිදුව ඇත. එයද දෛවයේ සරදමකි.
2009.11.02 දින මා පවුලේ සාමාජිකයින්ද සමග සිදුව ඇති අසාධාරණය කියාපැම වෙනුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ සාමාකාමී ලෙස විරෝධතාවක නිරත වූයෙමි. එම අවස්ථාවේ චමල් රාජපක්ෂ කතානායකවරයා පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ සම්පූර්ණ පොලිස් බලඇණියකින් මා ඇතුළු පවුලේ පිරිස ආවරණය කිරීමෙන් අනතුරුවයි. අප සැම නොපෙන ලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වීම ඔහුගේ අරමුණ වූ බව පැහැදිලිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments