22.7 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අරගලය සාධාරණයි - රජයට උපදෙස් දීමට කමිටු 15 ක් - අරගලකරුවන්ටත් පුළුල්...

අරගලය සාධාරණයි – රජයට උපදෙස් දීමට කමිටු 15 ක් – අරගලකරුවන්ටත් පුළුල් නියෝජනයක්. එ.ජා.ප. මහලේකම්

තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකියි,තරුණයින්ට සාධාරණය ඉටුකිරීමට තව බොහෝ දේ කළ යුතුයි,අරගලය සාධාරණයි,රජයට උපදෙස් දීමට කමිටු 15 ක් – අරගලකරුවන්ටත් පුළුල් නියෝජනයක්.

තරුණ ප්‍රජාව දිනා ගැනීමෙන් තොරව සාර්ථකත්වය උදාකර ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ  මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තරුණ සමාජයේ විශ්වාසය දිනාගැනීමට නොහැකි වූ සෑම අවස්ථාවකම මෙරට තුළ දේශපාලන හා සමාජයීය වශයෙන් බිදවැටීම් ඇති වූ  බවයි.

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙත සිය අයිතිවාසිකම් භුක්ති විදීම උදෙසා පැහැදිලි නිදහසක් හිමි වී තිබෙන්නේදැයි යන කාරණය පිළිබද නැවත විමසා බැලීමක් සිදුකිරීමට කාලය පැමිණ තිබෙන බවද එම ක්‍රියාවලියට දේශපාලන භේද අදාල කරගැනීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු අවධාරණය කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවැති තරුණ නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

තරුණයින් ස්වභාවයෙන්ම අරගලකරුවන් බව පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඔවුන්ගේ හැසිරීම් අසාධාරණ හා අයුක්ති සහගත ලෙස හැදින්විය නොහැකි බවයි. නිරත්නරයෙන්                       තාරුණ්‍ය අසාධාරණයට එරෙහිව පෙනී සිටින බවද එම තත්ත්වයන් පාලනය කළ හැක්කේ තරුණයාගේ සාධාරණ ඉල්ලීම් නිසි ලෙස ඉටු කිරීමෙන් පමණක් වන බවද ඔහු අවධාරණය කළේය. මේ වන විට රටේ පවතින තරුණ අරගලයද අසාධාරණ හා අයුත්කි සහගත නොවන බව පැවැසූ රංගේබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වයෙන් හා පොලු මුගුරු භාවිතයෙන් මෙම තත්ත්වයන් මර්ධනය කිරීමටද නොහැකි බවයි.

එවැනි තත්ත්වයන් පාලනය කරමින් සමාජය සාමාකාමී කල හැකිවන්නේ තරුණ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබාදීමෙන් පමණක් වන බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද පැවැසීය,

එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ සෑම අවස්ථාවකම තරුණයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංක, තාක්ෂණ මධ්‍යස්ථාන වැනි දේ පිහිටුවමින් තරුණ ශක්තීන් ප්‍රබල කිරීමටත්, එම ශක්තීන් රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කරගැනිමටත් අප බොහෝ විට කටයුතු කර තිබෙනවා.

නමුත් තරුණයා සමග වැඩ කිරීමේ කලාවක් අප තවමත් නිර්මාණය කරගැනීමට අපොහොසත් වී තිබෙනවා. එම තත්ත්වය ලොකු අඩුපාඩුවක්. එමෙන්ම තරුණයා ලෝකය සමග නිරන්තරයෙන් වෙනස්වන තැනැත්තෙක්. ඒ වෙනස දේශපාලන වශයෙන් අවබෝධ කරගැනීමටත් අපි රටක් ලෙස සමත්වී නැහැ. තරුණයාගේ කෝපය සාධාරණයි කියන්නේ ඒ නිසයි.

එබැවින් සිත් දිනාගනිමින් තරුණයා සමග ඉදිරියට යාමට හැකි වැඩපිළිවෙලක් හදුන්වාදීම අත්‍යාවශ්‍යයි. රතුද කොලද නිල්ද හෝ ජාති, ආගම් භේද හෝ ඊට අදාල කර ගත යුතු නැහැ. එම වැඩපිලළිවෙල සම්පාදනය විය යුතු වන්නේ රටේ අනාගතය උදෙසාමයි. එවැනි ක්‍රියාවලියකින් තොරව කිසිදු දේශපාලන ප්‍රවාහයකට සාර්ථක ගමනක් අපේක්ෂා කළ නොහැකියි.

මේ වන විට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් එම ව්‍යුහය ගොඩනැගීමයි අගමැතිවරයාගේ අරමුණ වී තිබෙන්නේ. මෙය පුද්ගලයෙකුගේ ක්‍රියාවලියක් නොවෙයි. මෙය රට වෙනුවෙන් කරන පුළුල් වැඩපිළිවෙලක්.

කොහොම වුණත් මේ ක්‍රියාවලියේදී පාර්ලිමේන්තුවට කාරක සභා  15 ක් පමණ ස්ථාපිත වනවා. අගමැතිතුමා යෝජනා කර තිබෙන්නේ මේ කමිටුවලට තරුණ නියෝජනයන් ලබාදීමටයි. තරුණ අදහස්වලට මුල්තැන ලබාදෙන නායකයෙකු ලෙස අගමැතිවරයා මේ වැදගත් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබෙනවා.

ඒ අනුව අදාල කමිටුවලට තරුණ නියෝජිතයින් හතරදෙනෙකු පත්කරන්න මේ වන විටත් තීරණය කර අවසන්. යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් නියෝජිතයෙකුද අරගල ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවවලින් නියෝජිතයින් තිදෙනෙකුද පත්කරන්න නියමිතයි. දැනට පවතින ක්‍රමය වෙනස් කරන ලෙස බලකර සිටින තරුණ ප්‍රජාවට එකී යෝජනා රජයට හා පාර්ලිමේන්තුවට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් උදාකිරීමයි මෙහි අරමුණ වන්නේ.

ඒ අනුව අපි මේ වන විටත් තරුණ ප්‍රජාවගේ අදහස්වලට සවන්දීමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය ඉතා ප්‍රතිපලදායක ලෙස ඉදිරියට මෙහෙයවීම සියළු පාර්ශවවලට පැවැරෙන වගකීමයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments