රේගු පරීක්ෂණ හේතුවෙන් මේ වනවිට වරායේ කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවත්,ඒ හේතුවෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායි කාර්යයකට යොදා ගැනීමට නොහැකි වී ඇතැයි හෙළිදරව් වෙයි.මෙම සමහර කන්ටේනර් වසර දහයක් පුරා වරායේ ගොඩගැසී ඇති බව ලංකා නාවික ඒජන්තවරුන් පෙන්වා දුන්නේ වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග (31) පැවති සාකච්ඡාවකදීය.
අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡාවේ දී නාවික ඒජන්තවරුන්ගේ සංගමය පවතින තත්වය හමුවේ තමන්ට බලපාන ගැටලු රැසක් ඉදිරිපත් කළ අතර,මෙම කන්ටේනර් ඉතා ඉක්මනින් ඉවත් කීරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා රේගු හා වරාය බලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙම ඉඩ ලබා ගැනීම තුළින් වරායේ බහාලුම් සඳහා වැඩි ඉඩක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා ඒ තුළින් වරායේ කාර්යක්ෂමතාවය වැඩි කර විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම වරාය හා වරාය අභ්‍යන්තරයේ රේගු කටයුතු වල දී කඩදාසි භාවිතය අවම කරමින් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමට ඇමතිවරයා මෙහි දී එම නියෝජිතයන්ට එකඟ විය.
ලබාගත් සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට ඇමරිකා ඩොලර් මිලියන හැත්තෑවකට (70)ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, රටේ පවතින විදේශ විනිමය ගැටළුව හේතුවෙන් එම මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ලංකාවට පැමිණෙන නැව්වලට යම් ගැටලුවක් මතු විය හැකි බව මෙහි දී නාවික ඒජන්තවරු පෙන්වා දුන්හ.
මෙම මුදල් ගෙවීමට බලපා ඇති විදේශ විනිමය අර්බුදය පිළිබඳව මහ බැංකුව සමග සාකච්ඡා කර එම ගැටළුවට විසඳුමක් ලබාදීමට අමාත්‍යවරයා මෙහි දී එකඟ විය.
පසුගිය සමයේ ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩු වුව ද විශාල ප්‍රමාණයේ නැව් රාශියක් පැමිණ ඇති බැවින්,හුවමාරුව සඳහා පැමිණෙන බහළුම් සංඛ්‍යාව (4.5% කින් ) සියයට හතරයි දශම පහකින් වැඩි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම අන්තර් පර්යන්ත අතර බහාලුම් ගෙන යාමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා එම බහාලුම් ප්‍රවාහනය කරන ප්‍රයිම් මුවර් රථ සංඛ්‍යාව වැඩි කරන ලෙස ද නාවික ඒජන්තවරුන් මෙහි දී ඉල්ලා සිටියේය.
අප රටේ ආනයන අපනයනය සඳහා ඉහළම පහසුකම් සලසමින් රටට විදේශ විනිමය සහ ආදායම් උත්පාදනය කර දෙන නාවික ගමනාගමනය මෙරට ආර්ථිකය ප්‍රධාන සංඝටකයක් බව ද එම නිසා එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයන් සඳහා වරාය සහ රේගුවේ ඉහළම ප්‍රමුඛතා සහයෝගය ලබා දීම ජාතික යුතුකමක් බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මෙම අවස්ථාවට නාවික ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ෂෙහාරා ඩී සිල්වා මහත්මිය මහලේකම් රැල්ප් ආනන්දප්පා මහතා ඇතුළු නියෝජිතයන්ද අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ද වරාය අධිකාරියේ නිලධාරීහු ද සහභාගි වූහ.