21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්බිඳවැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩගන්න කෙටිකාලීන යෝජනා දොළහක් ඉදිරිපත් කරනවා-ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවෝ

බිඳවැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩගන්න කෙටිකාලීන යෝජනා දොළහක් ඉදිරිපත් කරනවා-ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවෝ

ඉංජිනේරු පාලිත අබේවර්ධන මහතා

විවිධ ක්ෂේත්‍රවල මෙන්ම ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදකාරී තත්වයක් ඇතිවී තිබෙනවා. මෙම ක්ෂේත්‍රයේ පවුල් ලක්ෂ පහළොවක් පමණ අද ජීවත්වීමට නොහැකි අර්බුදයකට පත්ව සිටිනවා. මෙහිදී මෙම අර්බුදයේ ගැඹුර, එය කෙතරම් ව්‍යාප්ත වී ඇත්ද හා එයට අපගේ විසඳුම් ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අනුබද්ධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. රට පුරා ඉදිකිරීමේ ක්ෂේත්‍රයට පුහුණු හා නුපුහුණු කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් ඍජුව සම්බන්ධ වී සිටිනවා. එසේම ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන්, ආදීන්ද මෙයට සම්බන්ධයි. අද ඔවුන් සියලු දෙනාගේ රැකියා අහිමි වි තිබෙනවා. මෙලෙස ඍජු රැකියාවල නිරත වූ ඔවුන් අසරණ වී මහමඟට ඇදවැටී තිබෙනවා. ගොඩනැගිල්ලක්, මහා මාර්ගයක් කෙනෙකුට දැකගැනීමට හැකිවුවද එම ව්‍යාපෘතියක් වටා සේවා සපයන විශාල පවුල් සංඛ්‍යාවක් සිටිනවා. ව්‍යාපෘතියකට අදාළව ඒ අවට දහස් ගණනක් එයින් යැපෙනවා. සේවකයන්ට ආහාර සැපයීමේ සිට නවාතැන් ආදී විවිධ සේවා සැපයීමෙන් ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මෙම ව්‍යාපෘති නතර වීමෙන් ඔවුන්ගේ වක්‍ර රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී තිබෙනවා. 

ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අමුද්‍රව්‍ය සැපයීමට වෙනම සැපයුම් ක්ෂේත්‍රයක් තිබෙනවා. කුඩා සැපයුම් කර්මාන්ත විශාල ප්‍රමාණයක් රට පුරා විහිදී තිබෙනවා. ඒ ආශ්‍රිතවද විශාල රැකියා ප්‍රමාණයක් මෙන්ම ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. එසේම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධවන විශාල පිරිසක් බැංකු ණය මගින් යන්ත්‍රෝපකරණ මිලදී ගෙන ආයෝජනය කර තිබුණා. අද ඔවුන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී බැංකු ණය ගෙවා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. මේ සියලු දෙනාම ගත හොත් පවුල් ලක්ෂ පහළොවකට පමණ බලපෑමක් ඇතිවී තිබෙනවා. මෙය තවදුරටත් ආර්ථික අර්බුදයක් නොවෙයි; සමාජීය අර්බුදයකට ද හේතු වී තිබෙනවා. 

ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 07-10ක ප්‍රමාණයක් ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙනුයි. අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවල ගොවිබිම්වල සිටින අය තමන්ගේ ගොවිතැන් කටයුතු අවසන් වීමෙන් පසුව ජීවිකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ නගරයට පැමිණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කිරීමයි. ඔවුනට අවුරුද්දේ යම් කාලයක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ පුහුණු හා නුපුහුණු කම්කරුවන් ලෙස ඉදිකිරිම් ව්‍යාපෘතිවල සේවය කිරීමයි. පසුගිය මහ කන්නය සහ මෙවර යල කන්නය අසාර්ථක වීම නිසා ඔවුන් විශාල පිරිසකට රැකවරණය තිබූ ඉදිකරීම් ක්ෂේත්‍රය අද බිඳවැටී තිබෙනවා. මෙය ගණනය වී නොතිබුණත් ගමකට ගියහොත් මේ බව හොඳින් තේරෙනවා. 

පාසල් අධ්‍යාපනය අවසන් කළ විශාල පිරිසකට සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා ලබාගැනීමේදීත් විශ්වවිද්‍යාලවලින් පිටවන විශාල පිරිසකට පුහුණු වීමේදීත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධවීමට හැකිවුණා. ඔවුන් අනාගත වෘත්තීන් වෙනුවෙන් සහ විදෙස්ගත වීමට අවශ්‍ය පුහුණුව ලබාගත්තේ මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිවලිනුයි. නමුත් අද සිටින අයටත් රැකියා කිරීමට නොහැකි තත්වයක් තිබියෙදී කිසිදු ව්‍යාපෘතියකට පුහුණුවන්නන් ඇතුළත් කරගත නොහැකියි. මෙය අර්බුදයේ විශාල පැතිකඩක් නියෝජනය කරන්නේ මෙහි දීර්ඝ කාලීන බලපෑම් නිසයි. 

අපේ රටේ දැනට විශාල ව්‍යාපෘති බොහොමයක් සිදුකරන්නේ විදේශීය සමාගම් විසිනුයි. මෙය ලෝකයේ සාමාන්‍ය තත්වයක්. විදේශීය සමාගමක් ලංකාවට එනවිට අපි බලාපොරොත්තු වන්නේ තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර වැනි දේ රටට ලැබීමයි. ලංකාවේ විශේෂත්වයක් වන්නේ මෙසේ පැමිණි සමාගම් බොහොමයක් විසින් තමන්ගේ නුපුහුණු කම්කරුවන් පවා තමන්ගේ රටින් මෙහි ගෙන ඒමයි. මෙවැනි ස්වභාවයේ චීන සමාගම් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය තුළ ක්ෂේත්‍රයේ අය ලෙස අපට සම්බන්ධවීමට හැකි කොටසක් ඔවුන් විසින් අවුරා තිබෙනවා. මෙම තත්වය ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවක් ලෙස පවතිනවා. 

විශාල ව්‍යාපෘති බොහොමයක් සිදුකරන්නේ බැංකුවලින් ණය ලබාගෙනයි. බිලියන ගණන් ණය ලබාගත් ව්‍යාපෘති අද නතරවී තිබෙනවා. මේ තත්වය තුළ බැංකුවල ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් ඒවායේ ආයෝජකයන් අද විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා. ලීසිං පහසුකම් යටතේ යන්ත්‍රෝපකරණ ලබාගත් විශාල පිරිසකට ඒවා ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටිනවා. මීට වසර දෙකකට පමණ පෙර ලංකාවේ සංචාරක කර්මාන්තය විශාල ලෙස වර්ධනය වනු ඇති බවට ආණ්ඩුව ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ගෙනගියා. ඒ වෙනුවෙන් පවතින හෝටල් කාමර සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිකළ යුතු බව පැවසුණා. ඒ නිසා මේ වෙනුවෙන් විශාල පිරිසක් ආයෝජනය කළා. නිවාඩු නිකේතන, සාමාන්‍ය හෝටල් මෙන්ම තරු පංතියේ හෝටල්ද ඉදිකිරීමට පටන් ගත්තා. මේ වන විට ඒවා සියල්ල නතර වී තිබෙනවා. අද සංචාරකයන් අඩුවී තිබෙනවා. තිබෙන සංචාරක හෝටල් පවා පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙනුයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මෙම කඩා වැටීම, හුදු ව්‍යාපෘති නතර වීම පමණක් නොව පවුල් ලක්ෂ පහළොවක් අසරණ කර තිබෙනවා. ඔවුන්ට වෙනත් විකල්ප ආදායම් මාර්ගයක්ද සොයා ගැනීමට හැකියාවක් නැහැ. ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවන් ලෙස අප මේ වෙනුවෙන් මැදිහත් වීමට තීරණය කරන්නේ මේ තත්වය තුළයි. මේ අර්බුදය යම් තරමකට හෝ සමනය කර ගැනීම වෙනුවෙන් අප කෙටි කාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සඳහා රජයට බලකිරීමට සහ විදේශීය තානාපති කාර්යාලවලින් ඉල්ලීම් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

සිවිල් ඉංජිනේරු ස්ටැන්ලි මොරේමඩ මහතා

අප විසින් ඉදිරිපත් කරන කෙටි කාලීන යෝජනා මාලාව පහත පරිදියි.

 1. රැකියා අහිමිවන තෝරාගත් පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සඳහා රජය මැදිහත් වීම. මේ සඳහා අවශ්‍ය කෙටිකාලීන පුහුණුව, ණය යෝජනා ක්‍රමයක්, රැකියා අවස්ථා සොයාගැනීම සඳහා විදේශ රටවල තානාපති සේවයන් හරහා සොයා බැලීම් රජය මැදිහත්ව සිදුකළ යුතුයි. පුහුණු ශිල්පීන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය වෘත්තීය සහතිකපත් නොමැති අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් කෙටිකාලීන වෘත්තීය පුහුණු පාඨමාලා අවසානයේ යම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රජය විසින් අදාල ආයතන හරහා වැඩපිළිවෙළක් ඇරඹිය යුතුය.

2. රජය මැදිහත්වී දේශීය ඉදිකිරීම් සමාගම්වලට විදේශ රටවල ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාගැනීමට ඇති ඉඩකඩ සොයා බලමින් යම් සේවක පිරිසක් එම සමාගම් හරහා සේවයේ යෙදවීම මගින් සමාගම් බිඳවැටීම වැළැක්වීම මෙන්ම ඩොලර් අර්බුධයටද විසඳුමක් ලබාදෙනු ඇත.

3. ඉදිකිරීම් සමාගම් ලබාගෙන ඇති බැංකු ණය සහ ලීසින් පහසුකම් වෙනුවෙන් සහන ලබාදීම. ගිවිසුම්ගතව ඇති නමුත් දැනට වැඩ කටයුතු කරගෙන යාමට අපහසුතා ඇති ගිවිසුම් අවලංගු කරගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම

4. යම් අරමුදල් ප්‍රමාණයක් වෙන්කොට රජයේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සිදුකළ යුතු අතර එම වැඩ එක් එක් සමාගමේ සිටින සේවක සංඛ්‍යාවට අනුව බෙදාදීම මගින් ඔවුන්ට මෙම අර්බුධය තුලදී තම සමාගම් පවත්වාගෙන යාමට සහාය විය හැක.

5. ADB, World bank සහ අනෙකුත් විදේශීය අධාර දෙන ආයතන මගින් ලබාදෙන අරමුදල් මගින් සියලූම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට තම සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරගැනීමට හැකිවන ලෙසට ප්‍රමාණවත් වැඩ ලබාගැනීමට හැකි යාන්ත්‍රණයක් පිලිබඳව සොයා බැලීම.

6. රැකියා අහිමි වන සේවකයින්හට EPF ETF අරමුදලින් යම් සහනයක් ලබාදිය හැකිදැයි සොයා බැලීම

7. හැකි අය ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සඳහා රජය මැදිහත් වීම.

8. මෙම අර්බුධය පහව යනතුරු අවශ්‍ය පහසුකම් සැලසීම, නියාමනය, සහ අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා යම් බලයලත් ආයතනයක් පිහිටුවීම. මෙහි සාමාජිකයන් ලෙස ක්‍ෂෘ් සහ කොන්ත්‍රාත් සංගම්වල නියෝජිතයින් සහ අදාල රජයේ අයතනවල නිලධාරීන් පත්කළ යුතු අතර, සිදුකරණු ලබන සියලුම දේ විනිවිදබාවයකින් සිදුවන බවට වග බලාගත යුතුයි

9. විදේසගතවීමට නොහැකි රැකියා අහිමිවූ අයවලූන් සඳහා යම් ගෙවීමක් සමග පාඨමාලා සහ පුහුණු වැඩමුළු පැවැත්වීම මගින් ඉදිරියේදී රටේ ඇතිවිය හැකි ශ්‍රම බලකායේ හිගයට පිළියම් යෙදිය හැක. පෞද්ගලික ඉදිකිරීම් ආයතනවල සේවයේ යෙදී සිටි, පවතින තත්වය යටතේ අතිරික්තයක් බවට පත්වූ සේවකයින් මෙවැනි පාඨමාලාවලට යොමුකිරීම කළහැක. 

10. මේ වනවිට රට තුල යම් චීන ඉදිකිරීම් සමාගම් ගණනක් ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටිති. ඔවුන්ගේ ශ්‍රම බලකායෙන් විශාල ප්‍රතිශතයක් චීන ජාතිකයන් බව නිරීක්ෂණය කර තිබේ. එම තත්වය වෙනස් කර ශ්‍රී ලාංකිකයන් යම් ප්‍රතිශතයකටත් ඔවුන්ගේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදෙනමෙන් චීන රජයෙන් සහ එම සමාගම්වලින් ඉල්ලීමක් කිරීමට රජය මැදිහත්විය යුතුයි.

11. විදේශ රැකියා අපේක්ෂා කරන අයවලූන් සහ විවිධ රටවල පවතින ඇබෑර්තු පිලිබඳ දත්ත ගබඩාවක් සහ පරිගණක මෘදුකාංගයක් මගින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම පහසු වනු ඇති අතර එමගින් මෙම වැඩපිලිවෙළ දේශපාලකයින්ගේ මැදිහත්වීමකින් තොරව සාර්ථක කරගතහැකි වනු ඇත. මේ පිලිබඳව කටයුතු කිරීම සඳහා අදාල ක්‍ෂේත්‍රයන් සහ ආයතන නියෝජනයෙන් කාර්ය සාධක බලකායක් නිර්මාණය කළ යුතු අතර එහි කටයුතු මුලූමනින්ම විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතුව ඇත.

12. ඉහත කරුණු සහ වෙනත් අදහස් තිබේනම් සලකා බැලීම සඳහා රජය වහාම දේශීය ඉදිකිරීම සමාගම් සහ එම සංගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ යෝජනා සලකා බැලීම.

විදෙස් ඉදිකිරීම් ව්‍යාපෘති මෙරට සමාගම්වලට ලබා ගන්න පරිගණක තාක්ෂණ විසඳුමක් අප සතුයි

පරිගණක තාක්ෂණ ඉංජිනේරු සහ ව්‍යවසායක එරංග වීරරත්න මහතා

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන කඩා වැටීමට විසඳුමක් ලෙස පරිගණක තාක්ෂණය යොදා ගැනීමට අපි සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මෘදුකාංගයක් සකස් කර තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු කම්කරුවන්ට රැකියා ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහාත් අර්බුදයට ලක්වී තිබෙන කර්මාන්තවලට විදේශයන්හි ව්‍යාපෘති අවස්ථා ලබාගැනීමටත් මේ මගින් වේදිකාවක් නිර්මාණය කර දිය හැකියි. මේ මොහොතේ විදේශයන්හි රැකියා අවස්ථා සහ ව්‍යාපෘති අවස්ථා ලබාගැනීමට ඇති අවස්ථා අතිශය සීමිතයි. අපි මේ මෘදුකාංගය නිර්මාණය කළේ ඒ බාධාව ජය ගැනීමටයි. 

මේ මෘදුකාංගයට තමන්ගේ රැකියා අවශ්‍යතාව ඇතුළත් කිරීමට විදේශීය සමාගම්වලට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයන්ට තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කර ඒවාට අයදුම් කළ හැකියි. ලංකාවේ නුපුහුණු හා සහතික නොලත් සේවකයන්ට සහතික ලබාගැනීමෙන් පසු එම රැකියාවලට අයදුම් කළ හැකියි. ලංකාවේ මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපාරවලට විදේශයන්හි ව්‍යාපෘති ලබාගත හැකියි. ඔවුන් ඒවා දැනටමත් ලබාගන්නවා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට එවැනි අවස්ථා ලබාගැනීම අතිශය අසීරුයි. ඔවුන්ට විදෙස් ව්‍යාපෘතිවල කටයුතු කිරීමේ අත්දැකීම් නැහැ. නමුත් මෙම ව්‍යාපාරවලට කළ හැකි විදෙස් ව්‍යාපෘති තිබෙනවා. අප විසින් සකස් කරන වෙබ් පෝටල් එක මගින් එම ව්‍යාපෘති සොයාගෙන ඒවාට අයදුම් කිරීමට මෙම ව්‍යාපාරවලට හැකිවෙනවා. තමන්ගේ ව්‍යාපාරවල හැකියාව, තමන් පෙරදී කළ ව්‍යාපෘති, ලබා ඇති සහතික, සේවකයන් ප්‍රමාණය, ඔවුන් කුමන කාණ්ඩවලට අයත්ද යන්න මෙම පෝටල් එකට ඇතුළත් කළ හැකියි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශ අමාත්‍යාංශය මැදිහත් වී මෙම වෙබ් පෝටල් එක තානාපති කාර්යාල මගින් ඒ ඒ රටවල ඉදිකිරිම් ක්ෂේත්‍රයේ නියැලී සිටින මහාපරිමාණ ව්‍යාපාරවලට යොමුකරන ලෙසයි. ඒවායේ උප කොන්ත්‍රාත් ව්‍යාපෘති මෙම සමාගම්වලට ලබාදීමට යොමු කිරීම ඔවුන්ට කළ හැකියි. එසේ කළහොත් විදේශ විනිමය ප්‍රශ්නයටත් යම් ආකාරයකින් විසඳුමක් ලබාගත හැකියි. එසේම කඩා වැටී ඇති ඉදිකිරීම් කර්මාන්තයට නොනැසී පැවතිය හැකියි. 

ඒ ඒ රට අනුව අවම වශයෙන් ඩොලර් මිලියන සියයක ව්‍යාපෘති කැඳවා ගැනීමේ ඉලක්කයක් විදේශ අමාත්‍යාංශය මගින් අපේ තානාපති කාර්යාලවලට ලබාදිය යුතු යැයි අපි සිතනවා. මෙම මෘදුකාංගය සකස් කරන්න ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවන් ලෙස අපි සූදානමි. මෙම ක්ෂේත්‍රය බේරා ගැනීම සඳහා ඇති සුදුසුම හා අත්‍යවශ්‍යම මාර්ගයක් ලෙස එයට අවස්ථාව ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. එසේම මෙම ක්‍රියාවලිය අප රටේ සිටින සැබෑ හැකියාවක් ඇති කර්මාන්තකරුවන්ට අවස්ථාව ලැබෙන පරිදි විනිවිද පෙනෙන ලෙස ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද අපි අවධාරණය කරනවා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments