කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහය වීමට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් සහභාගී කරවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් එහි සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ නැවත වසා දැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,
“ඊයේ පැවති සාකච්ඡාවේ දී සිවිල් ආරක්ෂක බලකායේ, සෙබළුන් 100ක් පමණ යොදවා ගැනීමට තීරණය වුණා. නාට්ටාමිවරුන්ගේ සහය ලැබෙන තෙක් අනිවාර්යෙන්ම නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කළ යුතු නිසා, 100කට ආසන්න සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ සහය භාණ්ඩ බෙදාහැරීමට ලබාගැනීමට තීරණය කළා.“
කොළඹ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග එළවළු ගොවීන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවිය. ඒ අනූව ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන්කර දීමට රජය පියවර ගෙන තිබේ.