ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති
ගෝටාභය ඔයා රනිල් එක්ක ගම සමඟ පිළිසඳරකට එන්න…
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සභික නාමල් කරුණාරත්න
අද අපි මේ ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා තවදුරටත් මේ රටේ ජනතාව පීඩනයෙන් පීඩනයට පත් නොකර තොලොංචි වෙලා යන්න කියලා. ගියේ නැත්නම් එළවන එක එළවනවාමයි. ආයේ සැරයක් තෙල් මිල වැඩි කළා. තෙල් නැවක් එන පේන තෙක් මානෙකවත් නැහැ. තව දවස් කීපයක් යනකොට රට සම්පූර්ණයෙන්ම ලොක් වෙනවා. දරුවන්ගේ ඉස්කෝල වැහිලා. වෙනදා වැඩවර්ජනයක් යනකොට යම් අකර්මණ්‍යවීමක් සිදුවෙනවා. නමුත් මේ වෙනකොට රාජ්‍ය හා පෞද්ගලික ආයතන 75%ක් විතර අකර්මණ්‍යයි. ඒ අයගේ රස්සාවල් නැති වෙමින් යනවා. සියලු දෙනා නන්නත්තාරයි. මුළු රටේම ජනතාව නන්නත්තාරයි. අසමත් වෙලා යන්න බෑ කියලා ගෝටාභය කියලා තියෙනවා. ඔයා අසමත් කියලා මුළු රටක් කෑගහලා කියනවා. බංකරේක හැංගිලා ඉන්න ගෝටාභයගේ මස්තිෂ්කය වැඩකරන්නේ නැද්ද. ගෝටාභයට අපි ආරාධනා කරනවා, රනිල් එක්ක ‘ගම සමග පිළිසඳරක්’ තියන්න එන්න කියලා. අපි වැඩේ සංවිධානය කරන්නම්. ඔයගොල්ලොන්ගේ කැබිනට් මණ්ඩලයම අරගෙන එන්න කියලා අභියෝග කරනවා. ජනතාවගේ අභියෝග භාරගන්න බැරිනම්, වහාම අයින් වෙලා යන්න. නැත්නම් අපි ඔයගොල්ලන්ව පන්නනවා.
එදා පොහොර හොණ්ඩරයක් ගත්ත මිලට අද පොහොර කිලෝ එකක්වත් ගන්න බැහැ. දරුවන්ගේ අධ්‍යාපනයට පොඩි පොතක් ගන්න බැරි තත්වයට පත් කරලා. කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. මුළු මහත් සමාජයක්ම මහපාරට ඇදලා දැම්ම ආණ්ඩුවක් මේ තියෙන්නේ. මේ පාලනය අවසන් කරන්න කාලය ඇවිත්. ගෝටා-රනිල් පාලනය පළවා හරින්න බැහැ කියලා කවුරු හරි හිතනවා නම්, ඒක එහෙම නොවෙයි කියලා ඔප්පු කරන්න, පාරට බැහැලා ඉන්න මේ ජන බලයෙන් ඔප්පුකරලා තිබෙනවා.
මාර්තු 18වැනිදා සමාජවාදී තරුණ සංගමයේ නායකත්වයෙන් මේ රටේ තරුණයන්ගේ නැගිටීමකට මුල පිරුවා. ජනාධිපති ලේකම් කාර්යාලය වටකරලා තරුණ බලය පෙන්නුවා. ඊට පස්සේ මාර්තු 23 වැනිදා නුගේගොඩ ජන ගඟක් එකතු වෙලා ජාතික ජන බලවේගයේ අති සාර්ථක විරෝධතා රැළියක් පැවැත්වූවා. අප්‍රේල් 03වැනිදා සමාජ මාධ්‍ය තහනම් කර, ඇඳිරි නීතිය දාලා නීතියෙන් බලපෑම් කළ වෙලාවේ ගෝඨාභයගේ ඇඳිරි නීතිය කඩලා පාරට ආව ජනතාව තමන්ගේ බලය මොකක්ද කියලා ඔප්පු කළා. අප්‍රේල් මාසයේ 17, 18, 19 බේරුවල ඉඳලා දැවැන්ත ජන ගංගාවක් විරෝධතා පා ගමනින් කොළඹට ආවා. මැයි 01වැනිදා මේ රටේ පළවෙනි වතාවට යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර, දැවැන්ත මැයි දින පෙළපාළි පවත්වලා වැඩකරන ජනතාවගේ බලය පෙන්නුවා. 1953 හර්තාලයෙන් පස්සේ මුළු රටේම ජනතාව මැයි 06වැනිදා මහ පාරට බැහැලා, දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පැවැත් වූවා. 1953 හර්තාලයේ තිබුණේ සීමිත ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා. නමුත් මේ හර්තාලය උතුර-දකුණ භේදයකින් තොරව මුළු රටේම ජනතාව පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වූවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න තීරණය කළේ එදා. මැතිවරණ නැතත් ආණ්ඩු දණ ගස්වන්න පුළුවන් කියලා ජන බලයෙන් ඔප්පු කරලා ඉවරයි. මේ රටේත්, ලෝකයේ සෑම තැනකම ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට අපි ආරාධනා කරනවා මේ ජන බලයත් එක්ක එකතු වෙන්න කියලා. ජන බලය පෙන්වා දුෂ්ට, දුර්දාන්ත පාලනය පළවා හැර ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවමු කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.
අපි ගොඩනැගිය යුත්තේ රටට මේ විනාශය කළ පුද්ගලයින්ට දඩුවම් කළ හැකි පාලනයක්
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක
ඉතාමත් දුෂ්කරතා මැද පයින් හෝ පැමිණ උද්ඝෝෂණයට සහභාගි වන සියලුදෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ රට යමින් තිබෙන මාවත ඉතාමත් අනතුරුදායී බව අපි කාටත් පැහැදිලියි. කුස්සියට ගියාම ඒ බව දැනෙනවා. සාමාන්‍යයෙන් සඳුදා දිනයේ ජනාකීර්ණ වෙන කුරුණෑගල නගරය අද පාළුවට ගිහිල්ලා. අපේ රට අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තීන් රට ගෙනැවිත් තිබෙන්නේ මෙතැනට. අපි මෙවැනි උගුලකට හිරවෙන බව මේ රටේ ජනතාවට හැකිතරම් අපි කිව්වා. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළොත් මේ තත්වය ඇති වන බවත් උගුරේ ලේ රහ වෙනකම් කිව්වා. අපේ ජීවිතවලට විය හැකි සියලුම විනාශයන් අපි හැමදෙනාම දැන් අත්විඳිනවා.
ගෝටාභය රාජපක්ෂ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ එක එක්කෙනා කියන කතා අනුව. කවුරු හරි කිව්වාම මුදල් අච්චු ගහන්න ඕනෑ කියලා ඒ වැඩේ කරනවා. කවුරු හරි කිව්වාම පාසල් වහන එක උත්තරය කියලා පාසල් ටික වහලා දානවා. තව කවුරු හරි කිව්වාම අපේ රටේ ඉඩම් ටිකත් අනෙකුත් සම්පත් ටිකත් අදානිකාරයාට විකුණන්න කියලා, ඒකත් කරනවා. රටේ සිදුවන සිදුවීම් ගැන කිසිම හැඟීමක්, දැනීමක් නැති නායකයෙක් ජනාධිපති ධුරය හොබවනවා. ආණ්ඩුවක් පිහිටෙව්වාම විපක්ෂයේ අය ආණ්ඩුවට යන්න කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අද මුළු රටේම ජනතාව යන්න කියනවා.
මේ ජනාධිපති පත්කර ගන්න විශාල බලාපොරොත්තු සහිතව අපේ රටේ තරුණ තරුණියන්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් ඡන්දය දුන්නා. අද ඒ අයගේ බහුතරයක් කියන්නේ ගෝටා උඹ පලයන් කියලයි. ඒත් යන්නේ නැහැ. සහායට රනිල් වික්‍රමසිංහවත් ගෙන්වා ගත්තා. ඔහු අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශක. රටේ ජනතාව ගෙදර යවපු රනිල් වික්‍රමසිංහයි, රටේම ජනතාව දැන් යන්ඩ කියන ගෝටාභයයි දෙන්නා එකතුවෙලා රට පාලනය කරනවා. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහත් එක්ක මුදල් ඇමතිවරු පස්දෙනෙක් මාරුකරලා තිබෙනවා.
ජනාධිපතිවරණය ඉවරවෙලා මේ වෙනකොට කැබිනට් මණ්ඩල හතරක් පත්කර තිබෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයේ තාම පත්කර තිබෙන්නේ භාගයයි. දැන් ඉන්න ඇමතිවරු මතකත් නැහැ. රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණලා ඩොලර් කෝටි 110ක් ගත්තා. කෝප් කමිටුවේදී කියනවා ඒ සල්ලිවලට මොකද වුණේ කියලා දන්නෙත් නැතිලු. රටේ ආර්ථිකය මුළුමනින්ම විනාශ කරන්න රනිල් වික්‍රමසිංහලා දායකවෙලා තියෙනවා. ඔහු ඇවිල්ලා ප්‍රශ්නය විසඳයි කියලා කට්ටියක් කල්පනා කරනවා. තවත් අය අසල්වැසි ඉන්දියාව ඇවිල්ලා විසඳයි කියලා හිතනවා. එහෙම එන්නේ නැහැ. ඉතියෝපියාවේ දශක ගණනක ප්‍රශ්නයක් තිබුණා. කන්න නැතිව දරුවෝ මැරුණා. ලංකාවේ අය ඉතියෝපියාව ගොඩගන්න ගියේ නැහැ. ලෝකයේ රටවල් ඇවිල්ලා අපේ රට ගොඩගන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ ආව දවසේ ජපන් තානාපතිතුමා හමුවුණා. පසුවදා ඒ තානාපතිවරයා ජපානයට ගියා. මෙහේ ප්‍රවෘත්තියක් හැදුවා ඔහු ගියේ ඩොලර් අරන් එන්න කියලා. ඒ බොරුව ඉක්මනින්ම හෙළිවුණා. තව කට්ටියක් චීනය අපේ රට බේරා ගනියි කියලා හිතනවා. තව කට්ටියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බේරාගනියි කියලා හිතනවා. ග්‍රීසිය පළවෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් බේරෙන්න හැදුවා. නමුත් ඒ රටේ ජනතාව ආණ්ඩුව පළවා හැරියා. ඊළඟට පත්වුණු ආණ්ඩුවත් මූල්‍ය අරමුදලට ගියා. ඒ ආණ්ඩුවත් පළවා හැරියා. ඊළඟට ආව ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්ඩද එපාද කියලා ජනතාවගෙන් විමසීමක් කළා. ජනමත විචාරණයේදී ඡන්දය දීලා ඒ ජනතාව කීවා මූල්‍ය අරමුදලට යන්න එපා කියලා. හැබැයි අපේ රටේ කට්ටියත් කල්පනා කරන්නේ මූල්‍ය අරමුදලෙන් ඇවිත් බේරාගනියි කියලා. නැත්නම් ලෝක බැංකුව, නැත්නම් චීනය, නැත්නම් දියසෙන් කුමාරයෙක් එයි කියලා කල්පනා කරනවා. කඩා වැටුණු හැම රටක්ම ගොඩගැනීම සඳහා විදේශීය රටවල්වලින් සංවිධානවලින් ආධාර අරගෙන තිබෙනවා. හැබැයි ඒ හැම රටක්ම ගොඩනැගුවේ ඒ රටේ ජනතාවගේ මැදිහත්වීමෙන් බව මතක තබාගන්න. කඩා වැටුණු සෑම රටක්ම ගොඩ අරන් තිබෙන්නේ ඒ රටේ ජනතාව විසින්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රට ගැන කිව්වේ මාස දෙකක් ඇතුළත විශාල ඖෂධ හිඟයක් ඇතිවී රෝගීන් නිවෙස් තුළ මිය යන තත්වයක් ඇතිවනවා කියලා. ලෝක ආහාර සංවිධානය ආහාර හිඟයක් ඇති වන බව අනතුරු හඟවා තිබෙනවා. ජූලි 18වැනිදා කල්පිරෙන බැඳුම්කරයට ණය ආපසු ගෙවීම අත්හිටුවීමට විරුද්ධව ඇමරිකාවේ නඩු පවරා තිබෙනවා. ජපානයට පරමාණු බෝම්බ ගහනකොට ඇතිවුණු කම්පනය තරම් කම්පනයක් මේ ප්‍රශ්නයෙන් ලංකාවට ඇති වන බව සමහර ආර්ථික විශේෂඥයෝ කියනවා.