22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනාධිපති අපේක්ෂකයින් ඉදිරි පැය 24 තුළ වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්න.පා.ම....

ජනාධිපති අපේක්ෂකයින් ඉදිරි පැය 24 තුළ වහාම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්න.පා.ම. පාඨලී චම්පික රණවක

හෙට 20 වනදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයක් ඉදිරි පැය 24 තුළ වහාම තම තම වැඩ පිළිවෙල ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දුෂිත රාජපක්ෂ පාලනය එලවා දමා නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා අරගල කරන ලද සියලු දෙනාට ස්තුති කරමින් නව ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිරූපය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව අද (18) දින මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ජනතාව අරගලකර දිනාදුන් ජයග්‍රහණය මෙම පාලකයන් හරිහැටි තේරුම් නොගෙන ඇති බවත් එය හරිහැටි තේරුම් ගත්තානම් 20 වන දින ජනාධිපති තරඟයක් නොපවත්වා පක්ෂ වලින් නොව සියලු දෙනාගේ තීරණයෙන් පත්වන ජනාධිපතිවරයෙකු යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණු බවකි.

“නමුත් දැන් ඒ සඳහා තරඟයට තුන්, හතර පැත්තෙන්ම ඉදිරිපත් වෙන ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙනුත් ඉල්ලීමක් කරනවා මේ අපේක්ෂකයෝ හතර දෙනාගෙන්ම දැනට ඉදිරිපත් වෙලා තියෙන. ජනතාවගේ මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි අවශ්‍ය දේශපාලන කැපවීම කරන්න සූදානම් කියලා, එකමුතුභාවයකින්, සම්මුතියකින් මේ කටයුත්ත කරන්න.”

මෙම නව අපේක්ෂකයන් තම ප්‍රතිපත්ති ජනතාවට දැන ගැනීම සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් කලයුතු බවත් එයට පවතින්නේ තවත් පැය 24ක කාලයක් පමණක් බවත් එය දැනගැනීම මහජනතාවගේ අයිතියක් බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

“අපිට අවශ්‍යයි දැනගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරියට යනවද නැද්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක මහත්තුරු හා වෙනත් ඒ ඉන්න ඕනම අපේක්ෂකයෙක් පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මුල්‍ය අරමුණ අරමුදල ඉදිරියට යද්දී රටේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ගන්නා වූ උත්සාහය කොයි වගේද? රජයේ ආදායම් වැඩිකර ගැනීම, වියදම් කප්පාදු කරන්න යන්නේ කොහොමද? රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න යන්නේ කොහොමද? කියන ඒ ආර්ථිකයේ මූලික උපායන් පිළිබඳ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම තමන්ගේ ඉදිරි කාලයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරලීම සඳහා මොකක්ද තියෙන දේශපාලන යාන්ත්‍රනය? අපි යෝජනා කළා යාන්ත්‍රණයේ ස්වරූපයන්. එකක් නායකත්ව මට්ටමෙන් තියෙන ජාතික සභාවක්. ඒකට අනිවාර්යයෙන්ම පිටස්තර දායකත්වය ලබාගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශාල අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු විශාල අදහස් ප්‍රමාණයක්, වැදගත් සාධනීය අදහස් ප්‍රමාණයක් රටට ඉදිරිපත් කරලා තියෙනවා රටේ උගත්තු හැටියට. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් එවැනි ඉතාමත්ම වටිනා අදහස් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා කියන වෛද්‍යවරු, ඒ වගේම නීතිඥවරු සහ වෙනත් වෘත්තීයවේදීන්, ඉංජිනේරුවන් ඇතුළු ඒ වෘත්තීය ආයතනය විසින් අදහස් ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම ඉතාම වැදගත් සාධනීය අදහස්. මොකද ඒ අය මේ රාජ්‍ය පාලනයෙහිලා අත්‍යවශ්‍ය පිරිසක්. එවැනි වෘත්තීන් ශක්තිය ඇතුව පාර්ලිමේන්තුවේ නායකත්ව මණ්ඩලයක් මගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වෙච්ච ආයතනයක් පිහිටුවන්න.මන්ත්‍රීවරු දෙසිය විසිහතර දෙනාටම පාලනයට සහභාගී වෙන්න පුළුවන් විදිහේ ක්‍රියාදාමයක් ඇති කරවන්න.

මේ ක්‍රියාදාමය අනුගමනය කරොත් මම හිතනවා ඒ රජයට යම් ස්ථාවරත්වයක් ඒ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට ලැබෙයි. එහෙම නැතුව තරඟෙට ගිහිල්ලා, ගේමක් ගහලා මේක කොහොමහරි අල්ලා ගැනීමෙන් නම්, රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ අපේක්ෂකයෝ අතරේ බෙදුම් ගැටුම් තියෙන විත්තිය අපිට පේනවා. මන්ත්‍රීවරු අතරෙත් එවැනි මතභේද තියෙන විත්තිය අපිට පේනවා. නායකයෝ දැන් මේ වෙලාවේ සියලුම දෙනා එකට එකමුතු වෙලා අපි මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන එකමුතු භාවය, සම්මුතිය හදාගන්න ක්‍රියා කරන්න කියන එක අපි බොහොම අවධාරණයෙන් කියනවා.

මේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුණත්, අපි ඒ කටයුත්ත ඉදිරියට කරනවා. ඒ නිසා, මේ විවෘත භාවය පෙන්නලා, සම්මුති ජනාධිපති කෙනෙක්. අපි එදා කිව්වා වගේ පාලකයෙක් නෙමෙයි, භාරකාරයෙක්. සියලු පක්ෂ වලට ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සහිත පුද්ගලයෙක්. ඒ වගේම සර්ව පාක්ෂික ආණ්ඩුවකට කැප කරන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් ඉදිරිපත් කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ අතරේ විවෘත සංවාදයක් කරන්න තමන්ගේ ප්‍රතිපත්ති කවරෙක්ද යන්න කියන එක පිළිබඳව විවෘතව රටට ඉදිරිපත් කරන්න කියන පණිවිඩය ලබා දෙනවා.

මේ අරගලයේ යෝජනා ගණනාවක් තියෙනවා. අරගල මණ්ඩපයෙන්, සර්ව පාක්ෂික යෝජනා, නිර්පාක්ෂික යෝජනා ආදී වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පිළිගත් වෘත්තීය සංවිධාන, මහජන සභාව කියන සිවිල් සංවිධානයේ අපේ ආගමික නායකයෝ. අපේ ඕමල්පේ නායක ස්වාමීන් වහන්සේ, අකුරටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම කාඩිනල් වහන්සේ, එහෙම වැඩ ඉන්න මහජන සභාවේ යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනා පිළිබඳව ගෞරවයෙන් යුතුව සලකලා බලලා, එකඟතාවයක් හදා ගැනීම තමයි කළ යුත්තේ. මේ විවිධ විෂම කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙන යෝජනා අතරින් කාටත් පිළිගන්න පුළුවන් පොදු එකඟතාවයක්, පොදු යෝජනාවලියක් ඇති කරගෙන එය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒක මොකක්ද කියලා අපිට කියන්න ඕන. ඒක හංගගෙන ගහන්න බැහැ කොලේ. ඒක මොකක්ද කියලා කරුණාකරලා රටට කියන්න.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments