ක්‍රමිකව විකාශනය වූ ශ්‍රී ලාංකේය ජනරජයේ සැබෑ හිමිකරුවන් වන්නේ සුවහසක් පොදු මහජනතාවයි. එබැව් විශද කලේ රටවැසියන් බහුතරයකගේ ආශිර්වාදය ලත් තරුණ අරගලයයි. එමඟින් නව සමාජ සම්මුතියක් ජනගත වන ආකාරය දෙස මාර්තු 12 ව්‍යාපාරයේ අපි ඉමහත් අවධානයෙන් බලා සිටින්නෙමු.
ඊට සමගාමීව වඩාත් තීරණාත්මක ම කාර්යභාරය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට හා එය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ වෙතය. සාතිශය අභියෝගාත්මක සමයක රටෙහි සිව්දෙසින් නැඟෙන ජනතා අපේක්‍ෂා නිවැරදිව ආමන්ත්‍රණය කිරීමට අපගේ මහජන නියෝජිතයන් මෙවර හෝ සමත්වනු ඇතැයි යන්න මාර්තු 12 ව්‍යාපාරයේ අපේක්‍ෂාවයි.
මහජන නියෝජිතයන් ලෙස තමන් දිනාගත් මහජන නියෝජිතත්වය පොදු ජාතික අභිලාශයක් උදෙසා සාමුහිකව භාවිත කරන්නේදැයි සමස්ත රටවැසියා එකත්පසව බලා හිඳින්නේය.නොනිමි අර්බුද මාලාවක් හමුවේ ගිලගත් රටක අපි වාසය කරන්නෙමු. මෙහිලා තනි තනි පුද්ගල චරිත දෙස බලමින් මෙතෙක් අපි දිගුකාල සීමාවක් නාස්ති කොට ඇත්තේය. එබැවින් කලින්කලට පුද්ගලයන් වෙනස් කිරීමේ පටු දේශපාලන ක්‍රීඩාවෙන් මිදීමට මහජන නියෝජිතයන් මෙවර හෝ වගබලා ගැනීම සැමතින්ම වැදගත්ය. වෙනස් වෙමින් පවතින ජන මනස නිසිලෙස වටහා ගැනීමට ඔවුන් සමත්වනු ඇතැයි මාර්තු 12 ව්‍යාපාරය තරයේ විශ්වාස කරන්නේය. එබැවින් අපි මෙසේ ආයාචනා කරන්නෙමු!
- පුද්ගලයා දෙස නොව කාර්යක්‍ෂම වැඩපිළිවෙලක් උදෙසා එක්ව ගමන් කල හැකි කණ්ඩායමක් වෙත විශ්වාසය පළකරන්න
- අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පොදු අභිමතයක් සහිතව තෝරාගන්න. ඊට සමගාමිව උපරිම වසරක කාලයකට යටත්ව එක්ව ගමන් කල හැකි පොදු අභිලාශ සහිත කණ්ඩායමක් තෝරාගන්න
- එලෙස නිර්මිත කණ්ඩායමේ සාමාජිකයන් ජනතා විශ්වාසය දිනාගත් (මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක මඟින්ද අවධාරණය කොට ඇති) සුපිළිපන්න සාමාජිකයන් දැයි තහවුරු කරගන්න
- තම කණ්ඩායමේ යෝජිත වැඩපිළිවෙල පැහැදිළිව සඳහන් ක්‍රියාකාරී සැළැස්මක් ජනගත කරන්න. අනතුරුව එම සැළැස්ම නිවැරදි විගණනයකට හා ඇගයීමකට ලක්කිරීමට අප වැනි සංවිධාන වලට මෙන්ම පොදුවේ පුරවැසි ප්‍රජාවට ද අවස්ථාවක් ලැබෙනු ඇත.
ඉහත සිව්වැදෑරුම් පියවර ඔස්සේ තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හා අනතුරුව තෝරාගැනීමට නියමිත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අන්තර්වාර පාලනය (ඉතා සීමිත කැබිනට් සාමාජිකයන් පිරිසක් සහිත) දෙස රටෙහි පුරවැසියන් දෑස් දල්වා බලා සිටින්නේය. ආර්ථික ස්ථාවරත්වයත්, ප්‍රතිසංස්කරණමය දේශපාලන සංස්කෘතියත් නැවත පණ ගැන්වීම කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි. එය තම දේශපාලන පක්‍ෂයෙහි සීමාසහිත අරමුණු අභිබවා යන ජාතික වගකීමක් බව සියළු මහජන නියෝජිතයන් වෙත නැවත නැවතත් සිහිකැඳවන්නෙමු.
මේ ඔබද පරික්ෂාවට ලක්වන අවසන් නිමේෂය බව කරුණාවෙන් සළකන්න යැයි යන්න මාර්තු 12 ව්‍යාපාරයේ එකම හා ප්‍රමුඛ ඉල්ලීමයි.