රටේ නීති රීති සකස් විය යුත්තේ ජනතාව වෙනුවෙන් බැවින් ඒවා පුළුල් සාකච්ඡාවකින් පසුව සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(28) කොළඹ 07, මහජන පුස්තාකාලයේ පැවැති ලංකා ජනතා පක්ෂය සංවිධානය කර තිබු ආණ්ඩුවේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාවාදීද? මැයෙන් පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ජාතික සංවිධායක වරයා මෙසේද කීය………….
ව්‍යවස්ථාවක් , නීතියක් සම්පාදනය විය යුත්තේ කා වෙනුවෙන්ද එය රටේ පාලනය තාවකාලිකව භාරගන්නා වෙනුවෙන්ද අවශ්‍යතාවයට නොව ජනතාවගේ අවශ්‍යතාවයටයි. මෙය ජනාධිපති හෝ ආණ්ඩුවක් නිසා නොව ජනතාව වෙනුවෙන් බව මම සීයට සීයක් විශ්වාස කරනවා. මෙහිදි පිරිසක් සිටිනවා මේ සංශෝධනය කළ යුතුමයි කියලා පිරිසක් සිටිනවා. නොකළ යුතුමයි කියලා පිරිසකුත් සිටින අතර මෙහි මැදමාවතේ සිටින විශාල පිරිසක්ද සිටිනවා. ඒ අය ඇමතීමට දැනුවත් කිරීම සඳහා ලංකා ජනතා පක්ෂය මෙම ගන්නා උත්සහය සියලු දෙනාගේ ඇගයීමට ලක්විය යුතුයි. ඒ වෙනුවෙන් සංවිධානය කර තිබෙන මෙම සම්මන්ත්‍රණය වැදගත්. 19වෙනි සංශෝධනයට මමත් අත උස්සපු කෙනෙක්. මෙහිදි 19 වෙනි සංශෝධනය අංග සම්පූර්ණ එකක් කියලා මම කියන්න යන්නේ නැති අතර එය සම්පූර්ණයෙන්ම විසිකරලා දමන්න පුළුවන් එකකුත් නොවේ. එහි යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවරක් තිබුණා. එහි තිබුණු මානුෂික මුහුණුවර විසිවෙනි සංශෝධනයෙන් විසිකරලා දමන්න ගත් උත්සහයක් බව මින් පෙනෙනවා. ඒ නිසා අද විසිවෙනි සංශෝධනය වුවමනාද නැද්ද කියලා කතිකාවක් ඇතිවෙලා තියෙනවා.
මේ අවස්ථාවේ කළ යුත්තේ ව්‍යවස්ථා සම්පාදනය හෝ ව්‍යවස්ථා සංශෝධනයක් නොවේ. මේ අවස්ථාවේදි ලෝක ආර්ථික අර්බුදයක් තිබෙන අතර එය අපිටත් තදබල ලෙස බලපානවා. අපේ රැකියා අහිමිවෙලා තියෙනවා. ආදායම් මාර්ග අඩුවෙලා තියෙනවා. මේක කාටවත් පුද්ගලිකව ඇඟිල්ල දිගු කිරීමක් නොවේ. ඒ සමගම ජීවන වියදම වැඩිවෙනවා. මේ නිසා බරපතල ලෙස ආර්ථික පසුබෑමක් තියෙනවා. ඒ නිසා අපි කඩිනමින් පිළිතුරු සෙවිය යුත්තේ කුමකටද. එබැවින් කඩිනමින් පිළිතුරු සෙවිය යුත්තේ මේවාට බව කිව යුතුයි. ඒ අනුව ප්‍රමුඛතාවය දිය යුතු දෙයට මේ ආණ්ඩුව ප්‍රමුඛත්වයක් ලබාදී නැතැයි මට සිතෙනවා. ඒ නිසා ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස මම විසිවෙනි සංශෝධනය සළකන්නේ නැහැ. විසිවෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කරන 19 වෙනස් කරන යෝජනා විස්සක් පමණ තියෙනවා. මේවායින් ජනතාවගේ ආර්ථික පැවැත්ම, රටේ උන්නතීය, සමාජයේපැවැත්ම පිළිබඳ යෝජනා තිබෙනවාද කියා සළකා බැලිය යුතුයි. මෙහි මුලින්ම යෝජනා කරනවා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කොට නව කොමිෂන් සභා ඇති කිරීමේ ක්‍රමවේදයක් යෝජනා කරනවා. එහිදි රටේ මැදහත් අදහස් දරණ බුද්ධිමතුන්ට සිවිල් පුරවැසියන්ට මෙම සභාවලට පැමිණීමේ අවස්ථාව අහිමි කරලා තියෙනවා. යෝජනා කරන කොමිසම් ස්වාධීන කිව්වට පත් කරන්නේ ඒ අයට අවශ්‍ය අයවයි. මෙහිදි විපක්ෂනායකවරයාත් නියෝජනය වෙනවා නමුත් බහුතරය සිදුවෙන්නේ ඒ අයට අවශ්‍ය විදියටයි.
අපි කියන්නේ ස්වාධීන කොමිෂන් සභා සීයට සීයක් ස්වාධීනව ක්‍රියාත්මක වුණා කියලා. සමහර ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් තමන්ගේ වගකීම් හඳුනාගෙන වැඩකටයුතු කළේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා ගෙන් එක් අයෙක් නැතිවුණොත් එම කොමිසමේ ක්‍රියාකාරිත්වය ඇදවැටෙනවා. එවැනි ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මේවා සකස් කිරීමයි මේ අවස්ථාවේ කළ යුත්තේ. විගණන හා ප්‍රසම්පාදනය කොමිෂන් සඳහා පත් කරන නිලධාරින් දේශපාලනය වීම අනුමත කරන්න බැහැ. ලෝකයේ සෑම තැනම විගණනයට තැනක් තියෙනවා. ජනතාවගේ මුදල්වලට වගකිව යුතුයි. මේවා විසිවෙනි සංශෝධනයෙන් උදුරාගෙන තියෙනවා. අනෙක ඇමැතිමණ්ඬලය පත් කිරීමේදී සීමාවන් තිබෙන්න අවශ්‍යයි. 19වෙනි සංශෝධනයේ තිබුණු එම සීමාවන් විස්සෙන් ඉවත් කරලා තියෙනවා. ඊළඟ එක කැබිනට් සාමාජිකයින් පත්කිරීමේ අගමැතිගේ අනුමැතිය ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිට හා පාර්ලිමේන්තුවට ජනවරම් තිබෙන අතර මේවා එකිනෙකකට අභිබවා යන්න බැහැ. විධායකය,ව්‍යවස්ථාදායක හා අධිකරණය ගැටුම් ඇති නොකරගෙන සමාන්තරව ගරු කරමින් ගමන් කළ යුතුයි. මේවා එහාට මෙහටවුණොත් ජනාධිපතිගේ බලය අසීමිත ලෙස ඉහල ගොස් ඒක ජනවරමක් පොඩිපට්ටම් වෙනවා. හදිසියේ මේවා කරන්න අවශ්‍ය නැහැ මන්ද මේක සහෝදරයින් දෙදෙනාගේ ආණ්ඩුවක් තියෙන්නේ. ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා ඇරීමේ බලය, ජනාධිපතිට දෙවතාවකට වැඩිවාර ගණනක් තරඟ කිරීමේ හැකියාව ඇති කිරීම, වයස සීමා අඩු කිරීම කුමන හේතුවක් නිසා කරනවාද යන්න අපි දන්නේ නැහැ. ඒ නිසා මේක හදිසි ජාතික අවශ්‍යතාවයක් නොවේ.