26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ SLT-MOBITEL සහ එක්සත්...

ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ SLT-MOBITEL සහ එක්සත් ජනපද ඉහල නිලධාරීන් අතර සාකච්ඡාවක්.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඇමරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාර වලට ශ්‍රී ලංකාව තුළ පවතින ආයතනික ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි.
මෙම සාකච්ඡාවට SLT-MOBITEL නියෝජනය කරමින් එහි සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්වූහ.
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය, ඇමරිකානු ආයෝජන සඳහා වැදගත් වන ක්ෂේත්‍රයක් ලෙසට මෙම සාකච්ඡාව තුළදී හඳුනා ගන්නා ලදි. විශේෂයෙන්ම පසුගිය වසර තුනක පමණ කාලය තුළ, රටට අනපේක්ෂිත අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වූ අවස්ථාවන්හිදී, අත්‍යවශ්‍ය සේවාවන් හා කර්මාන්තයන්හි සම්බන්ධතාවන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා එම ක්ෂේත්‍රය සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් හිමි වී ඇති ඩිජිටල් ආර්ථිකයද, ආයෝජන සඳහා පැහැදිලි විභවයක් සහිත ක්ෂේත්‍රයක් බවට මෙහිදී දෙපාර්ශ්වය එකඟ වූහ.

“ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් කැප වී සිටින ජාතික ආයතනයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ සමාන චින්තනයක් සහිත හවුල්කරුවන් සමග අත්වැල් බැඳගැනීමයි. මෙම සකච්ඡාව, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඇමරිකාව පදනම් කරගත් ව්‍යාපාර දිරිගැන්වීමේ උත්සාහයේ වැදගත් මූලික පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. රට තුළ බහුවිධ වූ ආයෝජක ප්‍රජාවක් ගොඩනැංවීම අතිශයින් වැදගත්. අප සතු උසස් තත්ත්වයේ සම්බන්ධතා විසඳුම්, අතිනවීන තාක්ෂණයන්, දියුණු ජාල සේවාවන් සහ ඩිජිටල් යටිතල පහසුකම් සමගින් ලොව ඕනෑම ව්‍යාපාරික ආයෝජකයෙකු සඳහා විශිෂ්ට මට්ටමේ හවුල්කරුවෙකු වීමේ හැකියාව අප සතුයි.” SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

ඡායාරූපය – SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා (වමේ සිට තුන්වැනියට) සහ එහි සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා (දකුණේ සිට තුන්වැනියට) ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය (මැද) ඇතුළු ඇමරිකා එක්සත් ජනපද නිලධාරීන් හමු වූ අවස්ථාව. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරී ලුවී ජී. සැලාස් (දකුණේ සිට දෙවැනියට), ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් (වමේ සිට දෙවැනියට), SLT ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ (දකුණේ) සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ (වමේ) යන මහත්වරුද මෙහි වෙති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments