22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන් සංචාරය හෙලා දකින බව ශ්‍රී ලංකාවේ...

එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන් සංචාරය හෙලා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කරයි.

චීනයේ දැඩි විරෝධය සහ ප්‍රබල නියෝජනයන් නොසලකා හරිමින්, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි ඉකුත්(02) චීනයේ තායිවාන් කලාපයට ගිය බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිරීක්ෂණය කරයි. මෙම පියවර ‘එක-චීනය’ මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරයි. ද්වේශසහගත ලෙස චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන දේශපාලන ප්‍රකෝපකාරී ක්‍රියාවකි. එය චීන ජනතාව අතර දැඩි කෝපයක් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් විරෝධයක් අවුලුවා තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තායිවානය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර මහජන චීන සමූහාණ්ඩුවේ රජය, මුළු චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. 1971 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල අංක 2758 යෝජනාව මගින් මෙය පැහැදිලිව පිළිගෙන ඇත. 1949 දී මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට රටවල් 181ක් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන ඇත්තේ එක්-චීන මූලධර්මය මතය. එක්-චීන මූලධර්මය ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වීය එකඟතාවයකි.

1979 දී චීනය-එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය සඳහන් කරන්නේ “ඇමරිකා එක්සත් ජනපදය මහජන චීන සමූහාණ්ඩුවේ රජය චීනයේ එකම නීත්‍යානුකූල රජය ලෙස පිළිගනී” යනුවෙනි.

චීනයේ සංවර්ධනය හා පුනර්ජීවනය හෑල්ලුවට ලක් කිරීමට එක්සත් ජනපදය උත්සුක වීමෙන් පලක් නැත. චීනය තමන්ගේම ජාතික තත්ත්වයන්ට අනුකූලව නිවැරදි සංවර්ධන මාවතක් සොයාගෙන ඇත. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ බිලියන 1.4ක චීන ජනතාව සාමය සහ සෞභාග්‍යය කරා ගමන් කරමින් සිටිති.

නොසන්සුන්තාවයන් ඉහළ දමමින්, එක්සත් ජනපදය විසින් තායිවාන ප්‍රශ්නය කලාපීය උපාය මාර්ගයට හඳුන්වා දීම කලාපීය සංවර්ධන ප්‍රවණතාවයට පටහැනි වන අතර ආසියා පැසිෆික් කලාපයේ ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනි ය. සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවයේ මාර්ගයේ ගමන් කිරීම කලාපයේ රටවල පොදු අපේක්ෂාවන් වේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකාව චීනයේ තායිවාන් කලාපයේ සිදු කරන ප්‍රකෝපකාරී සංචාරය අවිවාදයෙන් හෙළා දකින අතර මෙම ප්‍රකෝපකාරී සංචාරයේ සියලු ප්‍රතිවිපාකවලට එක්සත් ජනපදය වගකිව යුතුය. ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියත් සමඟ ස්ථිරව සිටින අතරම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම තීරණාත්මක පැයේදී චීන කොමියුනිස්ට් පක්ෂය, චීන රජය සහ එහි ජනතාව සමඟ සිය සහයෝගීතාව ප්‍රකාශ කරයි.

එක්සත් ජනපද කථානායිකාව චීනයේ තායිවාන කලාපයේ සිදු කරන ප්‍රකෝපකාරී සංචාරය හෙළා දකින ලෙසත්, එක් චීන ප්‍රතිපත්තියක් සමඟ ස්ථිරව සිට ගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා රජයෙන්, සාමයට ආදරය කරන සියලුම දේශපාලන බලවේගයන්ගෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments