සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ. ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC සහ එහි අනුබද්ධ සමාගම් වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ලක්ෂ්මන් සිල්වා මහතා 1987 වසරේදී DFCC බැංකු සමූහයට එක්විය. එහි දශකයකට අධික සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඒ මහතා DFCC වර්ධන බැංකුව වෙත පත්වීම් ලැබූ අතර, 2010 වසර වනතෙක් එහි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කළේ ය. ඉන් පසු නැවතත් 2015 වසරේදී ඒ මහතා DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබූ අතර, ඉන් අනතුරුව 2017 වසරේදී එම බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වීම් ලබා, 2021 වසරේදී විශ්‍රාම යනතුරු එම තනතුරු දැරී ය.
ඉහත තනතුරුවලට අමතරව ලක්ෂ්මන් සිල්වා මහතා DFCC සමූහයට අනුබද්ධ සමාගම් වන DFCC Consulting (Pvt) Ltd සහ Synapsys Limited යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ඒ මහතා Lanka Financial Services Bureau Limited, Sri Lanka Banks’ Association (Guarantee) Limited, Acuity Partners (Pvt) Ltd, Lanka Ventures Limited සහ LVL Energy Fund PLC යන සමාගම්වල සභාපති ලෙස කටයුතු කර ඇත. මීට අමතරව Lanka Clear (Pvt) Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කළ ඒ මහතා දැනට Lanka Industrial Estates Limited සමාගමේ සහ Panasian Power PLC සමූහයේ හා එහි අනුබද්ධ සමාගම්වල සභාපති ලෙස ද කටයුතු කරයි.
ලක්ෂ්මන් සිල්වා මහතා මීට ඉහතදී Association of Development Financing Institutions in Asia and the Pacific (ADFIAP) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද, ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. වර්තමානයේ ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන් හා සම්බන්ධ වීමේ කමිටුවේ සහ ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන අතර, මීට පෙර ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති තනතුර ද දැරී ය.
කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨයේ උපාධිධාරියෙකු වන ලක්ෂ්මන් සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාද් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධිය (MBA) හිමිකරගෙන තිබේ.