ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ජුලි මාසයේදී 66.7% දක්වා ඉහළ ගොස් තිබේ.
ජුනි මාසයේදී එම අගය දැක්වුණේ 58.9% ක් ලෙසය.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහි අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසසේ සටහන් වන්නේ 75.8% ලෙසය.
ජුලි මාසසේදී එම අගය 82.5% දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී 43.6% සිට ජුලි මාසය වන විට 52.4% දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.
මේ අතර ජුලි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 5.57% කි.
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල 2.42% කින් සහ ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල 3.15% කින් ඉහළ යාම මේ සඳහා හේතු වී තිබේ.
මහ බැංකුව නිවේදනය කළේ, ආහාර කාණ්ඩය තුළ කිරිපිටි, සහල්, නැවුම් මත්ස්‍ය, බිස්කට් සහ කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති බවයි.
කෙසේවෙතත් එළවළු, පොල්තෙල් සහ පොල් මිල ගණන්වල පහළ යෑමක් එම කාල සීමාව තුළ පෙන්නුම් කරයි.
ආහාර නොවන කාණ්ඩය තුළ ජූලි මාසයේදී බස් ගාස්තු, පෙට්‍රල් සහ ඩීසල්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධනවල මිල ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
