ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද, ගරු ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාද සහභාගී වූහ. “තේ කර්මාන්තයේ වෙනස්කම් සම්බන්ධ අභියෝග” යන මැයෙන් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥ, සමාජ විද්‍යාඥ සහ රොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයේ (The Hague) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හවර්ඩ් නිකලස් විසිනි.
මෙහිදී 2022/2023 කාලසීමාව සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස, Eswaran Brothers Exports සමාගමේ සභාපති ගනේෂ් දේවනායගම් මහතා තෝරා පත්කර ගන්නා ලදි. මීට පෙර සංජය හේරත් මහතා 2019 සිට 2022 දක්වා වසර 3 ක කාලයක් සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ ය.
මෙහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේදී වැඩිම තේ ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ 2013 වසරේදී. එහෙත් මෑත කාලයේදී චීනය, ඉන්දියාව සහ කෙන්යාව අප පසු කර ගොස් තිබෙනවා. මේ වනවිට අපට ප්‍රමාණාත්මකව හිමි වී ඇත්තේ සිව්වැනි ස්ථානයයි. කෙසේ නමුත් තවමත් ශ්‍රී ලංකාවේ තේ ඉහළම ප්‍රමිතියෙන් යුතු තේ ලෙස සැලකෙනවා. මෙම වසරේ ජූලි මාසය අග වන විට පැවති තත්ත්වය සලකා බැලූ විට, තේ නිෂ්පාදනය 2021 වසරේ අදාළ කාලසීමාවට වඩා කිලෝග්‍රෑම් මිලියන 20 කින් පහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් අපගේ අපනයන ආදායම පහළ ගොස් නැහැ. ජූලි මාසය අවසානය වනවිට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 695 ක්. තේ නිෂ්පාදනය සහ එහි වෙළඳපොළ පුළුල් කිරීම සඳහා සියලු දෙනා සමග එක්ව කටයුතු කරමින්, අපට හැකි සෑම පියවරක්ම ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මුහුණ දුන් සහ මුහුණ දෙමින් සිටින අභියෝග රාශියක් සම්බන්ධයෙන් මෙම මහා සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය. මෑතක් වනතුරුම නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට මැළිකමක් දැක්වූ තේ කර්මාන්තය මේ වනවිට එම ආකල්ප වලින් මිදී, විවිධ කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට යොමු වී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. උදාහරණයක් ලෙස වසර 150 කට අධික කාලයක් පවත්වාගෙන ආ සාම්ප්‍රදායික තේ වෙන්දේසි ක්‍රමය වෙනුවට මේ වනවිට නවීන ඩිජිටල් වෙන්දේසි ක්‍රමයක් භාවිතා වන අතර, මෙවැනි වෙනස්කම් හේතුවෙන් අභියෝග රාශියක් සාර්ථක ලෙස ජයගැනීමට ක්ෂේත්‍රයට හැකි වී ඇත.
“ලංකා තේ වලට විකල්පයක් නොමැති බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා පංච-වාර්ෂික තේ ක්‍රමෝපාය සහ CTRM 2030 එක්තැන් කරමින් පැහැදිලි සැලසුමක් සකස් කරගැනීම අප සතු වගකීමක්. එමෙන්ම තේ අපනයනකරුවන්ගේ සංගමය ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහනේ සාර්ථකත්වය අගය කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලංකාවේ වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම වැඩසටහන මගින් ලබාදෙන වාර්ෂික දායකත්වය රුපියල් මිලියනයක්.” ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවසී ය.