21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්කජීමාවත්ත ගින්නෙන් අවතැන්වූවන්ට සියලු සහන සැලසීමට ජනපති උපදෙසින් විශේෂ වැඩපිළිවෙළක්

කජීමාවත්ත ගින්නෙන් අවතැන්වූවන්ට සියලු සහන සැලසීමට ජනපති උපදෙසින් විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ ඊයේ (27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී අනාවරණය වූ පරිදි මෙම ගින්න හේතුවෙන් නිවාස 71ක පුද්ගලයින් 306 දෙනෙකු අවතැන්ව සිටී. නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 11කට අර්ධ හානි සිදුව ඇත. අවතැන් වූ පුද්ගලයන් 306න් 200ක් වැඩිහිටියන් වන අතර ළමුන් සංඛ්‍යාව 106කි. මේ වන විට අවතැන් වූ පිරිස් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ පහසුකම් සහිතව රඳවා තැබීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයභාර පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම හා සහයෝගය මත අවතැන් වූ පිරිස් සඳහා ආහාර පාන ඇතුළු මූලික පහසුකම් අඛණ්ඩව ලබා දීම සිදු කෙරේ.
තවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යටතේ සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යනු ලැබේ. සර්වෝදය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහාය ඇතිව එම පවුල්වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සළාක පිරිනැමීමට කටයුතු කළ බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.
2007 වර්ෂයේ සිට තොටළග කජීමාවත්ත අතරමැදි කඳවුරක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන ගොස් ඇති අතර, 2014 අවසන් වන විට එහි සිටි සියලුදෙනාට නිවාස ලබා දී අවසන් කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පෙන්වා දුන්නේය.
නමුත් 2015 වසරේ සිට විටින් විට අනවසර පදිංචිකරුවන් විසින් මෙම ඉඩම අත්පත් කරගෙන ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පසුගිය වර්ෂ දෙක ඇතුළත අවස්ථා 03කදී මෙම නිවාස ගිනි ගැනීමට ලක් වූ බවත්, ඊයේ (27) සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බවටත් මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments