මත් ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනය කිරීම සදහා නව කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ( 30) පැවැති මෙරට තරුණ පරපුර විෂ මත් ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතයෙන් වළක්වාලීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමිනි.
මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයින් විශාල වශයෙන් වැඩිවීම නිසා අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින් හේතුවෙන් ඇතිව තිබෙන බන්ධනාගාර තදබදය, මත් ද්‍රව්‍ය බෙදා හරිනු ලබන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම හා මත් ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
මත් ද්‍රව්‍ය බෙදා හැරීම, අලෙවි කිරිම හා භාවිතා කිරීම මර්දනය කිරීම සදහා වන නව කාර්ය සාධක බලකාය සදහා මෙන්ම තරුණ පරපුර මත් ද්‍රව්‍ය භාවිතය සදහා යොමු වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්තිය සදහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත්, මෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති අතර, මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිස් අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20-30 ත් අතර තරුණ පිරිස් බවත්, මෙම තත්වය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්වයන් පරිහානියට පත් වී පවුල් ජීවිත විනාශයට පත්ව විනය පිරිහිනු සමාජ විරෝධී ක්‍රියාවන්වලට වැඩි වශයෙන් යොමු වන සමාජ වටපිටාවක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවත්, මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගත වන පුද්ගලයින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ප්‍රජා විශෝදන ක්‍රියාවලිය වෙත යොමු කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත්, ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.
පාසල් ළමුන් අතර මේ වන විට අන්තරායකර ඖෂධ භාවිතය වැඩි වී ඇති බැවින් විශේෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී පාසැල් ළමුන් ගුරුවරුන් දැනුවත් කිරීම සිදු කළ යුතු බවත් ,අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පාසැල් ළමුන් දැනුවත් කිරීම වෙනුවෙන් සකස් කර ඇති ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යතුමා මෙහිදී පැවසීය.
මත් ද්‍රව්‍ය භාවිතා කර බන්ධනාගාරගත වන පුද්ගලයින් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා සතියක් වැනි කාලයක් තුළ ලබාදීම හා මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයින් මෙන්ම මහා පරිමාණ ලෙස මත් ද්‍රව්‍ය බෙදා හරිනු ලබන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවත්, මෙම සාකච්ඡාවේදී අවධාරණය විය.
ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් වු සාකච්ඡා සතියකට වරක් පැවැත්වීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනී ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.