29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අවධානය…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අවධානය…

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරේ...

ශ්රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබඳ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ අදහස් පළ වූයේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය (18) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙරට දරුවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස් හා යෝජනාද මෙහිදී විශේෂ අවධානයට ලක්විය.

ඒ අනුව ළමා රැකවරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය හා ඒ හා සම්බන්ධ වෙනත් ආයතන, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) යන ආයතනයන්හි නියෝජිතයින් සමඟ ළමුන්ගේ රැකවරණය සම්බන්ධ ගැටලු හා යෝජනා පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

මෙරට දරුවන් හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ද , අවධානයට ලක් වූ අතර සමස්ත ළමා ජනගහනයට ගුණාත්මක අධ්‍යාපනය ලබා දීම, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් ලබාදීමට, පවතින සම්පත් හා නිලධාරීන් වඩාත් කාර්යක්ෂම කිරීම, ළමුන් අපයෝජනයට ලක් වීමට පෙර එවැනි වටපිටාවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, මනා පෝෂණයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය සහතික කිරීම හා ළමුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට අවස්ථාවන් නිර්මාණය කිරීම යනාදිය මෙහිදී අවධානයට යොමු වූ විශේෂ කරුණු වේ. එමෙන්ම ග්‍රාමීය, නාගරික හා වතු ජනතාවගේ දරුවන් සඳහා තිබෙන විවිධාකාර වූ ගැටලුවලට වෙන් වෙන් වශයෙන් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බව මෙහිදී තවදුරටත් අවධාරණය විය.

පළාත් කොමාසරිස්වරුන්ගේ අදහස් හා යෝජනාවන්වල ප්‍රමුඛත්වයෙන් දරුවන් සම්බන්ධ රජයේ නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධානයන්හී නිලධාරීන් සමඟ නව තාක්ෂණය භාවිත කරමින් ඉදිරියට කටයුතු කිරීමට සංසදයේ සාමාජිකයන් එකඟ වීමද මෙහිදී විශේෂ විය. ළමුන්ගේ ගැටලුකාරී අවස්ථාවලදී මාධ්‍ය භාවිතය පිළිබඳව අප්‍රසාදය පල කළ සංසදයේ සාමාජිකයින්ගේ පොදු අවධානය යොමු වුයේ ඊට අදාළ අමාත්‍යාවරයා සමඟ එක්ව නිසි වැඩපිළිවෙලක් හා ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවයි. මීට අමතරව ළමා මන්දපෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හා මෙහිදී සාකච්ඡා විය.

මෙම රැද්වීමට සංසදයේ සම උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරල, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක, කේ. සුජිත් සංජය පෙරේරා, වීරසුමන වීරසිංහ, ඩයනා ගමගේ සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments