කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතයේ දෙවන රැල්ලේ වෛරසයේ ස්වාභවය එහි මූලාශ්‍ර ස්ථානවල විශාල පිරිසක් රැස්වීම හා ඔවුන් රටපුරා සංචරණය කිරීම නිසා අපේ රටේ යම් අවධානම් තත්ත්වයක් ඇතිවු බවත් අපි මේ තත්ත්වයන් හඳුනාගෙන පවතින අභියෝගය ජයගැනීමට ජනතාව එකලෙස කැපවිය යුතු බව ලංකා සමසමාජපක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒකාබද්ධව සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින අතර රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරයි. මෙම වසංගතය ලෝකය පුරා වේගයෙන් පැතිරෙමින් තිබේ. දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වසංගතයට ගොදුරු වන අතර දහස් සංඛ්‍යාත පිරිසක් ඉන් මිය යති. මිලියන 60කට ආසන්න පිරිසක් ආසාධනයට ගොදුරු වී ලක්ෂ 15කට ආසන්න පිරිසක් මේ වන විට මිය ගොස් ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වයද උග්‍ර වෙමින් පවතින බවක් දැකිය හැක. මෙම ප්‍රකාශය ඔබ අතට පත්වන විට 20,000ක් ඉක්මවූ පිරිසක් ආසාධිත තත්ත්වයට පත්ව ඉන් සියයකට ආසන්න පිරිසක් මිය ගොස් සිටිනවා විය හැක. කොවිඩ් - 19 වසංගත තත්ත්වය මුලින්ම ඇතිවූ අවස්ථාවේ එය සාර්ථක අන්දමින් මැඩ පැවැත්වූ නමුත්, දෙවන රැල්ල පාලනය කිරීම දුෂ්කර වෙමින් පවති. දෙවන රැල්ලේ ආරම්භක මුලාශ්‍රවල තිබූ විශේෂ ලක්ෂණ මීට හේතු වන්නට ඇත. මුලාශ්‍ර ස්ථානවල දහස් සංඛ්‍යාත පිරිස් රැස් වනවාට අමතරව, ඔවුහු රට පුරා සංචරණය වෙමින් සිටි පිරිසක්ද වීම එම ප්‍රධාන විශේෂ ලක්ෂණ වූහ. මේ නිසාම දිවයින පුරාම ආසාධිත පුද්ගලයින් හමුවන අතර, වයස්ගත හා වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ගේ ජීවිත අවධානමක් මතුවී ඇත. මෙම තත්ත්වයට මුහුණ දිය හැක්කේ කෙසේද යන්න අප දෙපක්ෂයේ ගැඹුරු සාකච්ඡාවට භාජනය විය. ජනාධිපතිතුමාගේ හා රජයේ නායකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශ හා පොලීසියේ මැදිහත්වීමෙන් සහ අනෙකුත් අදාල පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා තත්ත්වය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග අපි අගය කරමු. කෙසේ වූවද, පවතින තත්ත්වය හමුවේ ගත යුතුව ඇති තීරණාත්මක පියවර කිහිපයක් පෙන්වා දීමට හා එම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයෙන් ඉල්ලා සිටීමට මෙම ප්‍රකාශය සිදු කිරිමට තීරණය කළෙමු. කෝවිඩ් වසංගතය සැබෑ වශයෙන්ම ජාතික අර්බුධදයකි. එබැවින් මෙයට දක්වන ප්‍රතිචාරය ජාතික ප්‍රතිචාරයක (National Response) තත්ත්වයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන සියළු දේශපාලන පක්ෂ ඇතුළත් සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ඇති කරන ලෙස ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිගෙන් හා රජයෙන් ඉල්ලා සිටී. එමෙන්ම කෝවිඩ් - 19 වසංගතය සමඟ තව වසර ගණනාවක් අපට ජීවත් වන්නට සිදුවන බව පැහැදිලිය. එබැවින්, දීර්ඝ කාලයක් මෙවැනි වසංගතයක් සමඟ ඊට ගොදුරු නොවී ජීවත්වීම සඳහා යහපත් සුවතා පුරුදු (මුහුණු ආවරණ පැළඳීම, සබන් යොදා දැත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය වැනි) පවත්වාගෙන යා යුතුව ඇත. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එවැනි චර්යාත්මක වෙනසකට (Behavior Change ) යා යුතුව ඇත. මේ සඳහා දැනුම ලබා දීම පමණක් නොව, රෝගයෙන් වැළකී සිටිම සඳහා නිවාරණ උපකරණ (උදා - මුහුණු ආවරණ) පවා අවධානම අධික පුද්ගලයින්ට නොමිලයේම වුවද ලබා දිය යුතුව ඇත. නිතිමය බලාත්මක කිරීම්ද මේ සඳහා උපකාරී වනු ඇත. චර්යාත්මක වෙනසක් (Behavior Change )නීති බලාත්මක කිරීමෙන් පමණක් කළ නොහැකි අතර, ඉහත 02 යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා සහභාගීත්වය (Community Participation) අත්‍යවශ්‍ය වේ. කෝවිඩ් 19 නිවාරණ වැඩ පිළිවෙල ප්‍රජාව විසින් ප්‍රජාව සඳහා ප්‍රජාව තුළ ගෙන යන ප්‍රජා මූල වැඩ සටහනක් බවට පත් කරන ලෙස අප රජයට යෝජනා කරමු. කොවිඩ් 19ට එරෙහි එන්නත් මෙම වසංගතයට එරෙහි සටනේ ප්‍රධාන අවියකි. දැනට ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන්ද එන්නත් නිපදවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ. රටවල් කිහිපයකම මෙම පර්යේෂණ පවතින්නේ III අවධියේ (Phase III Clinical Trials) සායනික පර්යේෂණ මට්ටමේය. රටවල් කිහිපයකම මෙම III අවධියේ පර්යේෂණවල අතරමැද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ඒවා සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ජනහණයෙන් 20%කට එන්නත් ලබා දීමට එකඟ වි ඇත. එහෙත් රට තුළ සාමූහික ප‍්‍රතිශක්ති (Herd Immunity) තත්ත්වය ඇති කර ගැනීම සඳහා අඩු තරමින් ජනගහණයෙන් 65%-70%ට මෙම එන්නත් ලබා දිය යුතුව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය සපයන්නට සූදානම් වන එන්නත් සංඛ්‍යාව හරහා අපට සාමූහික ප්‍රතිශක්තිය ගොඩ නගා ගැනීමට හැකියාවක් නැත. එබැවින්, ඒ සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ සෘජු සාකච්ඡාවකට එළඹ එකඟතා ඇති කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරමු. චීනය හා රුසියාව බටහිර රටවල සමාගම්වලට වඩා අඩු මිලට හා පහසුවට එන්නත් ලබා දෙන බව දැනටමත් ප්‍රකාශ කොට ඇති බැවින් එම රටවල් සමඟද සාකච්ඡා ආරම්භ කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.
කොරෝනා අභියෝගය ජයගැනීමට ජනතාව එකලෙස කැපවිය යුතුයි
RELATED ARTICLES