ආයුධ ගබඩාවක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂව සම්බන්ධයෙන් යොදවා ඇති ඩී කළාපයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනිම් සිදුකර තිබේ. ඒ් අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවන නිවාස සංකීර්ණයේ හා බෝධිරාජ මාවතේ නිවාස කීපයක් වටලා සෝදිසි කිරීමක් සිදුකර අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
යම්කිසි අපරාධයක් කිරිමේ චේතනාවෙන් නිතී විරෝධී කඩු 03 ක්, අත් පොරෝ 02 ක් සහ තියුණු උල් ආයුධයක් සන්තකයේ තබාගෙන සිටි බෝධිරාජ මාවත, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු මෙසේ ආයුධ රැස්කරමින් යමි අපරාදයක් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .
දීර්ඝ කාලයක පටන් පාසල් ළමුන්ට මත්කරල් බෙදූ උපකාරක පංති ගුරුවරයා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) කළුතර දකුණ පොලිස් වසමේ කළුතර දකුණ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත. බලපත්‍ර නොමැතිව හා වෛද්‍ය වරයෙකුගේ නිර්දේශයෙන් තොරව තහනම් උත්තේජක ඖෂධ PREGABLIN 150mg (මත් කරල්) කරල් 1299 ක් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු 4,5,6,7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය හා විද්‍යාව විෂයන් වලට අදාලව උපකාරක පංති පවත්වනු ලබන පුද්ගලයෙකු වන අතර කළුතර විද්‍යාලයට මීටර් 500 ක් පමණ දුරින් බිරිඳ හා දරුවන් දෙදෙනෙකු සමග කුලී පදනම මත පදිංචිව සිටී. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළුතර විද්‍යාලයේ ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්කරල් දීර්ඝ කාලයක පටන් විකුණනු ලබන බවට කරුණු අනාවරණය වී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවෙකු වන බඩෝවිට නලීන්ගේ ප්‍රධාන ගෝලයා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය iii හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) පිලියන්දල පොලිස් වසමේ බෝකුන්දර, මහවත්තට ඇතුලු වන මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට නලීන් නැමැත්තාගේ සමීපතමයෙකු වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු රුපියල් ලක්ෂ 05 කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41 ක් සමග අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
