මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමට අදාල නාම යෝජනා කැඳවීම ආරම්භ කර ඇති අතර ජනවාරි 21 වන දිනෙන් පසුව සියලුම පක්ෂ හා අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනු ඇති අතර ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු මැතිවරණය අවසාන වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
එහෙත් මෙකී කාලය තුළ පළාත් පාලන ආයතන 340 ම ක්‍රියාත්මක වන අතර එම සභාවල නගරාධිපතිවරු, සභාපතිවරු, සභිකයන් බොහෝ දෙනෙකු තරඟ කරන බැවින් ඔවුන් සභිකයන් ලෙස තම දේශපාලන බලය අනීතික ලෙස භාවිත කල හැකි අතර විශේෂයෙන්ම සභාපතිවරුන් හා නගරාධිපතිවරු පළාත් පාලන ආයතන සතු වාහන හා අනෙකුත් සම්පත් සිය මැතිවරණ ව්‍යාපාරයට භාවිත කරන බවට දැනටමත් අප වෙත පැමිණිලි ලැබී ඇත. නාමයෝජනා ලබාදෙන තෙක් කිසිවකු අපේක්ෂකයින් නොවුනද සමහර පළාත් පාලන ආයතන ප්‍රධානීන් අපේක්ෂකයින් වන බව දැන දැනම මෙම ක්‍රියාවලියේ නිරතවීම ආරම්භයේ සිටම මැතිවරණ නීති නොලසකා හැරීමකි.
එමෙන්ම පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති, සුබසාධන ව්‍යාපෘති, මාර්ග සංවර්ධන වැනි කටයුතු සඳහා එකී සභාවල සම්පත් ප්‍රයෝජනයට ගැනීම හරහා මැතිවරණයට අතිරේක වාසියක් ලැබිය හැකි අතර, එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් ද එපමණක් නොව එය මැතිවරණයක දී තිබිය යුතු සමබිම ද අහිමි කරන්නකි.
එබැවින් අප ඔබතුමා ඇතුළු කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ පළාත් පාලන ආයතනවල සම්පත් සහ බලය අයුතු ලෙස මැතිවරණ ව්‍යාපාර අපේක්ෂකයන් / දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට භාවිත වීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසයි.