22.3 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්විදුලි ගාස්තු 65% කින් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නද ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට, කැබිනට්...

විදුලි ගාස්තු 65% කින් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නද ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට, කැබිනට් මණ්ඩලයට විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම විදුලි ගාස්තු පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැත-හිටපු විදුලි බල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විදුලි ගාස්තු 65% කින් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නද ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට, කැබිනට් මණ්ඩලයට විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම විදුලි ගාස්තු පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැති බව හිටපු විදුලි බල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකයේ අද (10) පැවති විදුලි බිල වැඩි කිරීම සාධාරණද? යන්නන පිළිබඳව පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. මේ සඳහා 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක මහතා, 43 සේනාංකයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා, 43 සේනාංක කාන්තා එකමුතුවේ සම්බන්ධීකාරක ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය සම්බන්ධ විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට, කැබිනට් මණ්ඩලයට විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම බලයක් නැහැ විදුලි ගාස්තු වැඩි කිරීමට. බලය තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසමටයි. මහජන උපයෝගිතා කොමිසමට දැන් ලබාදීලා තියෙනවා විදුලිබල මණ්ඩලයේ වියපැහැදම් පිළිබඳ විස්තරයක් 2023 වර්ෂයට අදාලව. ඒ අනුව ජනවාරි පළවෙනිදා සිට විදුලි ගාස්තු වැඩි කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට විරුද්ධයි. ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් වැඩි වීම නිසා විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍යයයි කියන තර්කය තමයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යයාධිකාරීවරයාත්, ඇමතිවරයාත් කියන්නේ. ජූලි මාසයේ මණ්ඩලයේ ආදායම සංඛ්‍යාලේඛන අනුව, රුපියල් මිලියන 19,285 යි. අගෝස්තු මාසයේ විදුලි බල ගාස්තු ඉහළ නැංවීමෙන් පස්සේ, ඔක්තෝම්බර් මාසේ වෙනකොට රුපියල් මිලියන 34,573 කට වැඩිවෙනවා. සමස්ත ආදායම ගත්තොත් ජූලි මාසයේ රුපියල් බිලියන 20 සිට රුපියල් බිලියන 37 දක්වා වැඩි වෙනවා. ඒක තමයි විදුලි ගාස්තු වැඩි වීමෙන් වෙන්නේ.

වියදම් මොනවා ද? ජනන වියදම් සහ විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප්, නඩත්තු කටයුතු මේ සියල්ලම විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර ජූලි මාසයේ  බිලියන 41 පමණ. නමුත් අගෝස්තු මාසය වෙනකොට ඒක රුපියල් බිලියන 32 අඩුවෙලා. ඔක්තෝම්බර් බිලියන 26 යි, නොවැම්බර් බිලියන 29යි. ඒ කියන්නේ මේ ගාස්තු වැඩිවීම විදුලිබල මණ්ඩලයේ ඉන්ධන වියදම්, වැටුප් සහ අනෙකුත් නඩත්තු කටයුතු පියවා ගැනීමට ප්‍රමාණවත්. මහජන උපයෝගිතා කොමිසමට කරුණාකරලා ජනතාවට ප්‍රසිද්ධ කරන්න 2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ වියපැහැදම්. ලංකා විදුලිබල මණ්ඩලය බිල් නොගෙවීම නිසා මහජන බැංකුව, ලංකා බැංකුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිය සැපයුම්කරුවන්ට පොලී ගෙවන්න වෙලා තියෙනවා නොගෙවූ ගාස්තු නිසා. ඒ නිසාම මුල්‍ය වියදමක් තියෙනවා. නමුත් ඒක අතීතයට අයිති කාරණයක්. එය විදුලිබල මණ්ඩලයේ වියදමක් නෙමෙයි. ඒක අතීතයේ සිදු වූ යම් යම් කරුණු නිසා ඇති වූ තත්වයක්. ඒ මුල්‍ය වියදම (financial cost) එක එක මාස වල වෙනස් වෙනවා. ඊට අමතරව ක්ෂය වීම්, Depreciation ආදිය හැරුණු විට මණ්ඩලයේ වියදම ආවරණය වෙලයි තියෙන්නේ. දැන් මේ කරන්න යන්නේ අදායම බිලියන 55 සිට බිලියන 60 දක්වා වැඩි කරන්නයි. වියදම වැඩියෙන්ම ගිය අවුරුද්දේ වියදම වෙලා තියෙන්නේ බිලියන 40 යි. එතකොට මේ 55 දක්වා වැඩි කරන්නේ මොකටද? විදුලි කප්පාදුවක් තිබුණා පැය 2 විනාඩි 20. ඒ නිසා යම් ඉතුරුවක් ලංකා විදුලිබල මණ්ඩලයට තියෙන්න ඇති. ඒක එකතු කළත් මේ තරම් විශාල වැඩිවීමක් කිසිසේත්ම සිදුවෙන්න බැහැ.

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමට භාරදීලා තියෙන විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය හරහා,

* ඒකක 30 පාවිච්චි කරන ඉතාම දුප්පත් ජනතාවගේ බිල රුපියල් 360 සිට රුපියල් 1,300 වැඩිවෙනවා. වැඩිවීම 261% (රටේ දුප්පත්ම ජන කණ්ඩායම මිලියන 1.1)

* ඒකක 60 පාවිච්චි කරන අයගේ විදුලි බිල රුපියල් 780 සිට  රුපියල් 2,560 වැඩි වෙනවා. 228%කින්. (ජනතාව දාහතර ලක්ෂයයි)

* ඒකක 90 වැඩි අයගේ රුපියල් 1,800 සිට රුපියල් 4,430වැඩි වෙනවා. වැදගත්

* ඒකක 1000ක් පාවිච්චි කරපු අයගේ විදුලිය රුපියල් 69,000 සිට රුපියල් 71,000ට වැඩිවෙලා. 4% වැඩි කරලා තියෙනවා.

තෙල්, ගල් අඟුරු වලට මිල යනවා නම් ඒක අය කරගත යුත්තේ ඒකක 1,000 නැතහොත් අඩුම ගණනේ ඒකක 300 ඉහළින් වැය කරන අයගෙන් මිස සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි. ඊළඟට මේ 2012 වෙනකන් කිසියම් දුරකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයුවේ අඩු මිලට. ඒක වෙනස් කරේ මාව අමාරුවේ දැමීමේ පරමාර්ථයෙන් පී. බී. ජයසුන්දර මහත්තයාත්, ඒ කාලේ අපේ අමාත්‍යංශ ලේකම්තුමත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් මත තමයි. දැන් ලීටරයක් වෙන්නේ රුපියල් 208යි. හැබැයි ලංවිමට මේක විකුණන්නේ 320ට. මේ ආණ්ඩුවේ බදු නිසා සහ අකාර්යක්ෂමතා නිසා විදුලි ඒකකයට වැඩි මුදලක් ගෙවන්න පාරිභෝගිකයාට සිද්ධ වෙලා තියෙනවා. ගල් අඟුරු මිල ඩොලර් 330 කියලා හිතලා තමයි ලංකා විදුලිබල මණ්ඩලය ගණන් හදලා තියෙන්නේ. හැබැයි අද ගල් අඟුරු සපයන්නේ ඩොලර් 240ට. ගල් අඟුරු වලත් විදුලි ඒකකයකට රුපියල් 50 විතර වැඩිපුර ගාණක් ජනතාවට පටවලා තියෙනවා. මේ අලුත් විදුලි ගාස්තු වැඩි කිරීම හරහා ජනතාවගෙන් ගන්න යනවා බිලියන 120ක්. කොටින්ම සමෘද්ධිය දෙන්නේ බිලියන 60යි. පොහොර සහනාධාරයට බිලියන 50යි. විදුලි බිලෙන් එක පාරින් ඒ සියල්ලම ජනතාවගෙන් ආපහු උදුරා ගන්නවා. එමෙන්ම ආගමික ස්ථානවලටත් 200% පමණ නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ කාලේ වෙනකොට අපේ කර්මාන්ත සේවා ක්ෂේත්‍රය කඩා වැටෙමින් තියෙන්නේ. අපි රජයෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ දඩබ්බර විදිහට වැඩ කරන්නේ නැතුව මේ පිළිබඳව කටයුතු කරන්න. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගෙදර යන්න සිද්ධ වුණේ, චන්ද්‍රිකා මැතිනියට 2001 ගෙදර යන්න සිද්ධ වුණේ විදුලි අර්බුදයක් නිසා ඒ තත්වය ඇති කර ගන්න එපා.

ඉන් අනතුරුව මෙම අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක මහතා පවසා සිටියේ මෙරට ඇති ජල විදුලි බලාගාර ස්ථාපිත කර ඇත්තේ ජනතාවගේ බදු මුදලෙන් බවත් එහි සම්පුර්ණ අයිතිය හිමිවන්නේ ජනතාවට බවත්ය.

“මේ ජල විදුලි බලාගාර සියල්ලගේම මුදල්, ණය මුදල් මේ වෙනකොට ගෙවා නිම කර තිබෙන්නේ ඒ ණය මුදල් ගෙවනු ලැබුවේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා මේ ජල විදුලි බලාගාර අයිතිය තියෙන්නේ ඇත්තටම රජයට නෙමෙයි. මේ ජල විදුලි බලාගාර ලැබිලා තියෙන්නේ මේ රටේ ජනතාවට.මේවා විකිණීමට හෝ මේ වාසිය රජයට අත්පත් කර ගැනීමට මේ රජයට කිසිඳු අයිතියක් නැහැ.”

ඉන් පසුව 43 සේනාංකයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ දකුණු ආසියානු කලාපයේ වැඩිම විදුලි බිලක් ඇති රට ශ්‍රී ලංකාව බවත් එය සම්පුර්ණයෙන් වැරදි ක්‍රමවේදයක් බවත්ය.

“මේ රටේ තියෙන ස්වාධීන කොමිෂන් දාල, ප්‍රජාතන්ත්‍රවාදය කතා කළාට, ස්වාධීන කොමිසම්වල බලය, ඒවායේ නීතිය, ඒක්‍රමවේද සම්පූර්ණයෙන්ම පස්සට දාලා, බල්ලට දාලා, තමන්ට ඕන විදියට තමන්ගේ  වුවමනාව ඉෂ්ට කරගන්නයි මේ ක්‍රියා කරන්නේ. ඒ හින්දා ඒකට අපිට ඉඩ දෙන්න කොහෙත්ම බැහැ. අපි පැහැදිලිවම කියනවා මේ රටේ විදුලිබල ඇමතිවරයාට වියදම එකතු කරගන්න නෙමෙයි පාරිභෝගිකයා ඉන්නේ කියලා”

එමෙන්ම මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ 43 සේනාංක කාන්තා එකමුතුවේ සම්බන්ධීකාරක ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පවසා සිටියේ විදුලියට වෙනත් විකල්පයක් නොමැති බවත් අධ්‍යාපනය හදාරන දුවා දරුවන් සිටින දුප්පත් පවුල් සඳහා මෙම විදුලි ගාස්තු වැඩි කිරීමෙන් සිදුකරනු ලබන්නේ අතිශය අමානුෂික ක්‍රියාවක් බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments