21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති...

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයින් හට නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ එම බලඝණයේ 30 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයින් තිස් දෙදෙනෙකු (32) විසිර යාම හා ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 10) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.   

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්ව කැමැත්තෙන් අනුයුක්ත වී, 30 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ එක් නිලධාරියෙකු ඇතුළු නාවික පුද්ගලයන් තිස් දෙදෙනෙකු (32) වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සඳහා එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති විසින් මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, හොඳම ශාරීරික යෝග්‍යතාකරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් එස්කේ දළුගම අනුස්මණ කුසලානය සාමාන්‍ය නැවි ඩබ්එන්එස් වීරසිංහ විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රධාන සුළු නිලධාරි කේජී ශාන්ත අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ඩීඑම්ඒඑල් දිසානායක විසින්ද, පාඨමාලාවේ අතිශූර පිහිණුම්කරුට හිමි ලුතිනන් කොමාණ්ඩර් ටීඩී පලිහේන අනුස්මරණ කුසලානය සාමාන්‍ය නැවි ඩීඒඊ දිසානායක විසින්ද, සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් පුහුණු සාමාජිකයාට හිමි කොමාණ්ඩර් එස්එන්කේ සිල්වා අනුස්මරණ කුසලානය උප ලුතිනන් ඩබ්ටීඩබ් සපුමොහොට්ටි විසින්ද, දක්ෂතම වෙඩික්කරුට හිමි කොමාණ්ඩර් සීඩී මාටින්ස්ටයින් අනුස්මරණ  කුසලානය සාමාන්‍ය නැවි එච්එම්ඒ සඳරුවන් විසින් සහ පාඨමාලාවේ අතිශූර පුහුණු සාමාජිකයාට හිමි විශේෂ යාත්‍රා බලඝණ සිරිය සාමාන්‍ය නැවි ටීවීඒඑච් සඳරුවන් විසින්ද හිමිකර ගන්නා ලදි.   

තවද, විශේෂ යාත්‍රා බලඝණයේ සුවිශේෂී පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් 30 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයින් විසින් විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන පරිශ්‍රයේ සහ නිකල්සන් කෝව් මුහුදු තීරයේ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක්විය.

උතුරේ කළපු ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ සහ ඒ ආශ්‍රිත ගොඩබිම් කළාපයේ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිය ගොඩ එකලෙස මෙහෙයුම් සිදු කළ හැකි විශේෂීත සන්නද්ධ ඒකකයක් ස්ථාපිත කිරීමේ අරමුණින් 1993 වර්ෂයේදී නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කෙරිණි. මෙම බලඝණය දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටු දැකීමේ මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාත්විත සිදු කරමින් නාවික හමුදා පෙරපෙළ ප්‍රහාරක බලඝණයන් වෙත අනභිභවනීය දායකත්වයක් දක්වන ලදී.

මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඔවුන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නිලධාරීන් 03 දෙනෙකු සහ නාවිකයින් 38 දෙනෙකුගෙන් ආරම්භ වූ විශේෂ යාත්‍රා  බලඝණය, අද පවත්නා තත්වයට ක්‍රමිකව වර්ධනය වීම සඳහා ආරම්භයේ සිට විවිධ වකවානුවල එම බලඝණයට අණදුන් අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නාවිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම තීරණාත්මක සාධකයක් වූ බව, විශේෂ යාත්‍රා බලඝණයට දෙවතාවක් අණදී ඇති ඔහු  නිහතමානී ආඩම්බරයකින් ප්‍රකාශ කර සිටින බවත් පවසන ලදි. එමෙන්ම, මෙම සුවිශේෂි අවස්ථාවේදී අප මාතෘ භුමියේ ‍ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් දිවි පිදූ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරීන් හා නාවිකයින් ඉතාමත් ගෞරවපූර්වකව සිහිපත් කරන බව පැවසූ නාවික හමුදාධිපති,  සුවිශේෂී නාවික හමුදා පුද්ගලයෙකු ලෙස නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා අවතීර්ණ වන 30 වන බඳවා ගැනීමට අයත් නාවික පුද්ගලයන්  සැම, විශේෂ යාත්‍රා බලඝණයට ආවේණික උසස් වෘත්තීය නිපුණත්වය තවදුරටත් ඔපමට්ටම් කර ගනිමින්, මනා විනය හා පැවැත්මෙන් යුතුව, සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කර, ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී   ලංකා නාවික හමුදාවට පැවරී ඇති කාර්යය භාරය ඉටු කිරිම සඳහා අධිෂ්ඨානශිලීව කැපවීම නාවික හමුදාව අපේක්ෂා කරන බව එහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කර සිටින ලදි.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය හා එක්ව විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ සිදු කෙරෙන නෞකා වෙත ප්‍රවිශ්ඨ වීම පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයන් හා සම්බන්ධ පුහුණු වැඩසටහන් හේතුවෙන් මෙම බලඝණයේ පුහුණු උපදේශකයන් හට විදේශයන් වෙතින් විශාල ඉල්ලුමක් පැවතීම නාවික හමුදාවට කීර්තියක් ගෙන දෙන කරුණක් බව මෙහිදී නාවික හමුදාධිපති විසින් ප්‍රකාශ කරන ලදී. තවද, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අද දින විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳි නාවික පුද්ගලයින්ගේ ආදරණීය දෙමාපියන් වෙතද සිය කෘතඥතාවය පලකිරීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.  

තවද, මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයට සමගාමීව නාවික හමුදාධිපති විසින් විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීම සහ අභින‍වයෙන් ඉදිකල ‘විශේෂ යාත්‍රා බලඝණ සිව් පුද්ගල කණ්ඩායම් අනුරුව’ විවෘත කිරීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ලමාහේවා මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ස්වේච්ඡා නාවික හමුදාවේ සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් නිශාන්ත අමරෝසා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments