ජනාධිපති සමාව ලබාදීම සඳහා ධවල මන්දිරය ආශ්‍රිතව අල්ලස් ලබාදීමක් සිදුව ඇතිදැයි අනාවරණය කරගැනීමට ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත. මෙම සැකය ඇතිවී ඇත්තේ ෆෙඩරල් අධිකරණය හමුවේ හෙළිදරව් වූ අධිකරණ ලේඛනවලිනි. දිසා විනිසුරු බෙරිල් හොවෙල් විසින් ‘සමාව සඳහා අල්ලස්’ යන හැඳින්වීම යටතේ සංශෝධිත නියෝගයක් මගින් ඊට පරීක්ෂණ නියම කර ඇත. පිටු 18කින් සමන්විත ලේඛනයකින් අඩක් පමණ කළු පැහැයෙන් අඳුරු කර මෙහිදී ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙවැන්නක් සිදුව ඇති නම් ඊට සම්බන්ධ කවුරුන්දැයි ඉන් නම් ගම් හෙළිදරව් නොවේ.
ඇතැම් විට ජනාධිපති සමාව ලබාගැනීම වෙනුවෙන් දේශපාලනිකව යම් දායකත්වයක් දැක්වීමට සිදු වන්නට ඇතැයිද විමර්ශකයෝ අනුමාන කරති. මීට සම්බන්ධව යම් රහස් ගනුදෙනු සබඳතා සිදුව තිබේද යන්න දෙසටද විමර්ශන යොමුවී ඇත. මෙම විමර්ශනයෙන් කිසිදු රජයේ නිලධාරියකු ඉලක්ක කර නැති බවද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. එසේම නීිතිඥ සහ සේවාලාභී පාර්ශ්ව අතර හුවමාරු වී ඇති විද්‍යුත් තැපැල් පණිවිඩ ආදිය පරිශීලනයට එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. නම් හෙළිදරව් නොකරන තිදෙනකු දෙසට මෙම විමර්ශන යොමුව ඇතැයිද වාර්තා වී තිබේ.
අධිකරණයේ නියෝගය පරිදි අධිකරණ දෙපාර්තමේන්තුව ඩිජිටල් මාධ්‍ය උපකරණ, ලැප්ටොප් පරිගණක, පෙන්ඩ්‍රයිව් ආදී ආම්පන්න 50කට වැඩි ප්‍රමාණයක් ඔවුන් භාරයට ගෙන ඇත. ඇමරිකා ව්‍යවස්ථාව මගින් අපරාධමය වරදකට දඬුවම් ලැබූ අයට ජනාධිපති සමාව ලබාදීමේදී ජනාධිපතිවරයාට වැඩි නිදහසක් දී තිබේ. ඉකුත් සතියේදී සිය හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්ට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය. ෆ්ලින්ට එරෙහිව තිබූ චෝදනාවට 2016 ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත් වීමක් සිදුවී තිබේදැයි සොයා බැලීමට කරන ලද විමර්ශනයේදී එෆ්.බී.අයි. වෙත දෙවරකදීම අසත්‍ය පැවසීමය. ඔහු මේ චෝදනාවට වරදකරු විය. මේ වනවිට ගෙවී යමින් ඇත්තේ ට්‍රම්ප් පාලනයේ අවසන් සති කිහිපය වන අතර මෙය මෙවැනි ජනාධිපති සමාව පිරිනැමීම් ගණනාවක ආරම්භය වනු ඇතැයි මත පළවේ.