සිය අපරාජිත බව තවදුරටත් රැකගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (3 වැනිදා) පැවැති 9 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ කඩුලු 5කින් ජය වාර්තා කළේය.
මෙවර තරගාවලිය තුළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පිට පිට පරාජය වූ සිව්වැනි තරගය මෙය වූ අතර ඒත් සමග ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව අවම වී තිබේ.
ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාර 3දී ජයග්‍රහණය සඳහා ලකුණු 24ක් අවශ්‍යව තිබිණි. එහිදී 18 වැනි පන්දුවාරය යැවීමේ වගකීම භාරගත් යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සිය කාර්යභාරය මැනවින් ඉටු කරමින් ඒ මොහොතේ ජැෆ්නා පිලේ ප්‍රධානතම පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දුව දවා ගනිමින් සිය පන්දුවාරය ලකුණු 5ක් තුළ අවසන් කළේය.
අවසන් පන්දුවාර 2ට ලකුණු 19ක් අවශ්‍යව තිබියදී පිටියට පිවිසි වනිදු හසරංග, 19 වැනි පන්දුවාරය යැවූ මොහොමඩ් අමීර්ට එල්ල කළ පිට පිට හතරේ පහර තුනද ඇතුලුව ලකුණු 16ක් රැස් කරමින් තරගයේ වාසිය සිය කණ්ඩායම දෙසට ගෙන ආවේය.
ලකුණු 26ක් තුළ එක් කඩුල්ලක් දැවී තිබෙද්දී ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ආ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක යුගලය දෙවැනි කඩුල්ල සඳහා ඉතා අගනා ලකුණු 99ක සබඳතාවක් පිහිටුවීය. ලකුණු 40ක් ලබා සිටි මිනෝද් භානුකගේ දැවී යාමෙන් අනතුරුව වුවත්, සිය වේගවත් පිති ප්‍රහාරය අඩාළ නොකිරීමට අවිශ්ක ප්‍රනාන්දු වග බලා ගත්තේය. ධනංජය ලක්ෂාන් එවූ පන්දුවක් හමුවේ ශෙහාන් ජයසූරිය අතට උඩ පන්දුවක් ලබා දී අවිශ්ක දැවී යන විට පන්දු 59කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 84ක් රැස්කරගෙන සිටියේය. අදාළ දක්ෂතාව හේතුවෙන් අවිෂ්ක තරගයේ වීරයා බවට පත්විය.
ජයග්‍රහණය හඹාගිය ගෝල් පිලේ ධනුෂ්ක ගුණතිලක පන්දු 44කදී හතරේ පහර 7ක් ඇතුළුව ලකුණු 56ක් රැස්කර ගත්තේය. එය ඔහු විසින් මෙවර තරගවාරයේ වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය විය. වනිදු හසරංග එවූ පන්දුවක් හමුවේ ෂෝට් ෆයින්ලෙග්හි සිටි ඩීන් ඔලිවියර් අතට උඩ පන්දුවක් ලබාදීමෙන් ගුණතිලකගේ ඉනිම නිමා විය.
ධනුෂ්ක හා එක්ව ගෝල් පිලට සාර්ථක අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකරු අසාන් අලී සහ අසාම් ඛාන් පිළිවෙළින් ලකුණු 29ක් සහ 25ක් වශයෙන් රැස්කර ගත්තේය.
පෞද්ගලික හේතුවක් මත ෂහීඩ් අෆ්රිඩි සිය රට බලා යාමෙන් අනතුරුව ගෝල් පිලේ නායකත්වයේ වගකීම භානුක රාජපක්ෂට පැවරුණද ඔහුට රැස් කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි.
ගෝල් පිලේ මැදපෙළ ශක්තිමත් කරමින් වේගවත් පිති ප්‍රහාරයකට සැරසෙමින් ලකුණු 7ක් ලබා සිටි චැඩ්වික් වෝල්ටන් 16 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් පන්දු යැවූ උස්මාන් ශින්වාරිට අභියෝග කළේය.
අදාළ පළමු පන්දුව නිපන්දුවක් වීමේ වාසිය ලබාගත් වෝල්ටන් අනතුරුව යැවූ ‘ෆ්‍රී හිට්’ පන්දුවට ද දැවැන්ත හයේ පහරක් එල්ල කළේය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ එක් අන්තයක් කරා ඇදී ගිය එම හයේ පහර මීටර් 104ක් වශයෙන් දැක්විණි. එය සටහන් වූයේ මෙතෙක් මෙම තරගාවලියේ වාර්තා වූ දැවැන්තම හයේ පහර ලෙසයි. ඉන් නොනැවතුණු වෝල්ටන් ශින්වාරි යැවූ මීළඟ පන්දු තුනට 4,2,6 ක් වශයෙන් රැස් කළත්, 5 වැනි පන්දුවේදී කඩුලු රැකි ක්‍රීඩක ටොම් මුවර්ස් වෙත උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.
ජැෆ්නා පිල වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම අකුරටම ඉටුකළ වනිදු හසරංග ලකුණු 29ක් තුළ කඩුලු 2ක් දවාගත් අතර උස්මාන් ශින්වාරි, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ලකුණු සාරාංශය
ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170 යි. (ධනුෂ්ක ගුණතිලක 56, අසාන් අලී 29, අසාම් ඛාන් 25, භානුක රාජපක්ෂ 1, චැඩ්වික් වෝල්ටන් 31, ශෙහාන් ජයසූරිය 8, ධනංජය ලක්ෂාන් (නොදැවී) 14, උස්මාන් ශින්වාරි 1/44, ධනංජය ද සිල්වා 1/27, සුරංග ලක්මාල් 1/18, වනිඳු හසරංග 2/29)
ජැෆ්නා ස්ටැලියන්ස් පන්දුවාර 19.4 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174 යි. (අවිශ්ක ප්‍රනාන්දු 84, ටොම් මුර්ස් 11, මිනෝද් භානුක 40, තිසර පෙරේරා 9, ශොයිබ් මලික් 1, වනිදු හසරංග (නොදැවී) 17, ධනංජය ද සිල්වා (නොදැවී) 5, මොහොමඩ් අමීර් 37/0, අසිත ප්‍රනාන්දු 2/30, ධනංජය ලක්ෂාන් 1/24, ශෙහාන් ජයසූරිය 1/20, අඛිල ධනංජය 1/42)