ජපානයේ සියලුම වැසියන්ට කොවිඩ් එනනත් නොමිලේ ලබාදීම අනුමත කරමින් අලුත් පනතක් සම්මත කිරීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. ජපානයේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිටත් කොවිඩ් වසංගතය වේගයෙන් පැතිරෙමින් ඇති අතර ඉහත කී පනතෙහි සඳහන් පියවර හරහා වසංගතය මර්දනය කිරීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. සියලු දෙනා කොරෝනා එන්නත ලබාගැනීම සඳහා උත්සාහ ගත යුතු බවට වන වගන්තියක්ද මෙහි ඇතුළත් බව සඳහන් වේ. නමුත් මෙම පනත ක්‍රියාත්මක කෙරෙනු ඇත්තේ අදාළ එන්නත්වල ආරක්‍ෂිත බව සියයට සියයක් සනාථ වීමෙන් පසුව පමණි.
රටේ ජනතාව සඳහා ප්‍රමාණවත් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් ලබන වසර මැද භාගය වනවිට ලබාගන්නා බව එරට අගමැති යොෂිහිදේ සුගා පවසයි. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ කර තිබූ සමීක්‍ෂණයකින් හෙළි වී තිබුණේ එන්නතක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නේ ජපාන ජනතාවගෙන් සියයට 69ක් පමණක් බවයි. ගෝලීය වශයෙන් ගත් කළ එන්නතක් ලබා ගැනීමට සූදානමින් සිටින අයගේ ප්‍රතිශතය සියයට 73කි. මෙයින් පෙනෙන්නේ තවමත් සැලකිය යුතු පිරිසක් එන්නත් පිළිබඳ සැකයෙන් පසුවන බවය. 2021 ජුනි මාසය වන විට ජපානයේ සියලු දෙනා වෙනුවෙන් එන්නත් මාත්‍රා ලබා ගැනීම සඳහා එරට රජය ඇමරිකාවේ මොඩර්නා සහ ෆයිසර් ඖෂධ සමාගම් සමගද, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමගද ගිවිසුම්වලට එළැඹී සිටින බව වාර්තා වේ.