ලක් මෑණියන්ගේ ගෞරවය, ආරක්‍ෂාව සහ වසර සිය දහස් ගණනක අභීත ශ්‍රී ලාංකිකත්වය රැකගැනීම උදෙසා 1983 මාර්තු මස 01 වන දින ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ විශේෂ කාර්‍ය්‍ය බලකාය පොලිස් නිලධාරීන් 60 න් සමන්විත වූ කණ්ඩායමකගෙන් ආරම්භ කර වීරත්වය පෙරටු කොට ගෙන රණබිමට පැමිණ රුදුරු ත්‍රස්තවාදය හා අභීතව යුධ වැදී උණුසුම් රුධිරය ලක් දෙරණ මත වගුරා ජීවිත පරිත්‍යාග කල විශේෂ කාර්‍ය්‍ය බලකාය රණවිරුවන් වර්ෂ 39ක් ගිය තැනද ඔබව අණුස්මරණය කරන්නෙමු.
විශේෂ කාර්‍ය්‍ය බලකාය ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රස්තවාදය හමුවේ වර්ෂ 1984 සැප්තැම්බර් මස 01 වන දින අපගේ සහෘද සාමාජිකයන් වූ රණවිරු පොලිස් සැරයන් 2539 ආර්.එම්. චන්ද්‍රපාල මහතා, පොලිස් සැරයන් 4100 පී.ඒ. ඒකනායක මහතා, පොලිස් සැරයන් 3928 එල්.ඩී. නානායක්කාර මහතා සහ පොලිස් සැරයන් රියදුරු 13089 එච්.ඩී. සුමනසේකර මහතා,යන වීරෝදාර පුතුන් සිවුදෙනෙකු හට තම පණ නල අහිමි විය. එදා මෙදා කාල පරිච්ඡේදය තුළ විශේෂ කාර්‍ය්‍ය බලකායේ අභීත නිලයන් හාරසිය හැටහතර (464) දෙනෙකු මෙන්ම සිවිල් සේවක මහතුන් සය (06) දෙනෙකු දේශ ප්‍රේමීන් ලෙස දැයෙන් සමුගෙන ඇති අතර තුවාල ලබා ඇත.
විශේෂ කාර්‍ය්‍ය බලකා නිලධාරීන් හත්සිය හතලිස් හතරදෙනෙකු (744) උපන් දේශයේ ආරක්‍ෂාවේ වගකීම ජන්මයෙන්ම ලද පසු එය ඉටු කිරීමේදී තම ජීවිත සදා ආබාධිත තත්වයට පත් වූ ද, තුවාල ලබා ගිලන් වූ ඒ අසම සම විරුවන් වීරත්වයේ සළකුණක් වශයෙන් සිහිපත් කරමි. එමෙන්ම සිදු වූ සිය දහසක් වූ සිදුවීම්, වේදනාවන් අපිරිමිත ධෛර්යෙන් විඳ දරා ගනිමින් විශේෂ කාර්‍ය්‍ය බලකායේ පෙරගමනට යෝධ ශක්තියක් මුසු කරන්නා වූ සක්‍රීය සේවයේ යෙදී සිටින විරුවනි ඔබට ද අවංකව ස්තුතිය පුද කරමි.
නිවහල් දේශයක් ස්ථාපිත කිරීමේ කාර්යයට පණ දුන් ඒ දිවි කැප කල රණවිරුවන් ජනිත කර තම ලේ දහඩිය වගුරා ආරක්‍ෂාව සැලසූ පියවරුනි, සෙනෙහස කැටි කර ලේ කිරි බිඳින් බිඳ දී පෝෂණය කල දයාබර මෑණියනි, අවසන් මොහොත දක්වා එක්ව දිවි ගෙවීමට අදිටන් කරගත් සෙනෙහෙබර බිරින්ඳෑවරුනි, තම පියාණන්ගේ සෙනෙහස සහ උණුසුම අහිමි ආදරණීය දූ දරුවනි, ඔබ සියලුදෙනා වෙත සමස්ත රට වැසියන්ගේ ගෞරවනීය උත්තමාචාරය සහ සංවේගය පුදකර සිටින්නෙමු.
ශ්‍රී ලංකා ද්වීපය එක් ධජයක් යටතට ගෙන ඒමට ජීවිත පුදකරමින් ක්‍රියාකල විශේෂ කාර්‍ය්‍ය බලකා සමාජිකයිනි ඔබගේ කැප කිරීමේ දායාදය මතු උපදින දරුවන් පවා භුක්ති විඳිනු ඇත. එය රැකගැනීමට වර්තමාන විශේෂ කාර්‍ය්‍ය බලකාය ද අද මෙන්ම මතු අනාගතය උදෙසාත් ඇප කැප වී ඇති බව සනිටුහන් කරන්නෙමු.
