22.5 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සියලු ප්‍රගතිශීලීන්, වෘත්තීය සමිති හා වැඩකරන ජනතාව ඒකාබද්ධ විය යුතුයි. එහිදී කම්කරු...

සියලු ප්‍රගතිශීලීන්, වෘත්තීය සමිති හා වැඩකරන ජනතාව ඒකාබද්ධ විය යුතුයි. එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානය සිටින ස්ථාවරයේම තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඉන්නේ – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

අද කම්කරු අරගල මධ්‍යස්ථානය සිය පලමු සමුළුවේ තේමාව ලෙස ගෙන ඇත්තේ IMF මර උගුලට එරෙහිව කම්කරුවන් සංවිධානය කිරීම. මේ IMF මර උගුල, ඉන්දියාවේ දේශපාලන බලපෑම් සමග මේ රනිල් රාජපක්ෂ යන ගමන වහා නතර කළ යුතුයි. එය නතර කිරීමටනම් සියළු ප්‍රගතිශීලීන්, වෘත්තීය සමිති හා වැඩකරන ජනතාව ඒකාබද්ධ විය යුතුයි. එහිදී කම්කරු අරගල මධ්‍යස්ථානය සිටින ස්ථාවරයේම තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඉන්නේ.

ආණ්ඩුව කියන්නේ තව අවුරුද්දකින් මැතිවරණයක් තියෙනවා. ඒ වනතුරු ඉන්න කියලා. විපක්ෂයත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කරමින්, සැබෑ සටනෙන් ඉවත් වෙලා මැතිවරණ ජයග්‍රහණ ගැන කියමින් ඉන්නවා. ඒ අනියමින් කියන්නේ තව අවුරුද්දක් මේ ආණ්ඩුවට මෙහෙම කරගෙන යන්න ඉඩ දෙමු කියලා. මේ විනාශකාරී වැඩපිළිවෙළ තව අවුරුද්දක් ඉදිරියට යන්න ඉඩ දෙනවාද? නැතිනම් දැන් මේ මර උගුල පරදවනවාද? මේ විනාශකාරී වැඩපිළිවෙළ පරදවන්නනම් පාර්ලිමේන්තුවෙන් එලියේ ජනතා බලය ගොඩනැගිය යුතුයි. එම මහජන ව්‍යාපාරයේ නායකත්වය කම්කරු ව්‍යාපාරය විසින් ගත යුතුයි. මේ සමුළුව වැදගත් වීමට එය ප්‍රධාන කරුණක්.
පසුගිය වසරේ දැවැන්ත ජනතා අරගලයක් පැනනැගුනා. එයට නායකත්වය සැපයීමට කම්කරු ව්‍යාපාරය අසමත් වූ බව මට කලින් අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයන් ස්වයං විවේචනාත්මකව පිලි ගත්තා. දැන් අප කළ යුත්තේ ඉදිරි ජන අරගලයකට නායකත්වය දිය හැකි මට්ටමට කම්කරු ව්‍යාපාරය වර්ධනය කිරීම. ඒ සඳහා වෘත්තීය සමිති තුළ කම්කරුවන් සංවිධානය කිරීම වගේම වෘත්තීය සමිති සීමාව ඉක්මවා යාමත් අවශ්‍යයි. කම්කරු පන්‍ති දේශපාලනය වර්ධනය කල යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත්, සියළු පීඩිත බලවේග ඒකාබද්ධ කරන මධ්‍යස්ථානයක් සඳහා මූලිකත්වය ගන්නා ලෙසත්, එහි නායකත්වය ගන්නා ලෙසත් අපි කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා සිටිනවා. ඒ හැකියාව තියෙන්නේ ගාමක බලවේගය විය හැක්කේ කම්කරු පන්තියට.
අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නැගුවේ සමාජවාදී සමාජ පරිවර්තනයක් සඳහා. බොහෝ දෙනා නව ලිබරල් වැඩපිළිවෙළ ඉදිරියේ දණ නමා සිටියදී අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. සමහරු අහනවා සමාජවාදය ප්‍රායෝගිකද, එය කල හැකිද කියලා. අපි අහනවා ධනවාදය හොඳද, අපි මේ ජීවත්වන විදිය හොඳද කියලා. අපි මුහුණදෙන අර්බුද වලට විසඳුම් සෙවිය හැක්කේ ධනවාදය පරාජය කිරීමෙන්. සමාජවාදය ගොඩ නැගීමෙන්. අපේ පක්ෂයේ දිගුකාලීන වැඩපිළිවෙළ එය. ඒ වැඩපිළිවෙළ සාර්ථක කරද්දී ගාමක බලවේගය වන්නේ කම්කරු පන්තිය. කම්කරු පන්තිය සංවිධානය කරන කම්කරු අරගල මධ්‍යස්ථානයේ පළමු සමුළුවට එම කාර්‍යභාරය ඉටු කිරීම සඳහා අපේ සුබපැතුම් එක් කරනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments