21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවිදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට...

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට…

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු මෙසේ දන්වා සිටියි. 2022 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් එවා ඇති අතර, ඒ අනුව 2023 වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් පෙර වර්ෂය හා සැසඳීමේදී 74.4%න් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ අගොස්තු මාසයේදී පමණක් ශ්‍රමිකයින් දිවයිනට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට එවා ඇත. එම මාස 2 සැසදීමේදී මෙම අගෝස්තු මාසයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් 53.4% කින් ඉහළ ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් වෙනුවෙන් සුභසාධන පහසුකම් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් දිවයිනට මුදල් එවීමට පෙළඹී තිබේ.

නීත්‍යානුකූලව බැංකු පද්ධතිය ඔස්සේ දිවයිනට මුදල් එවන ශ්‍රමිකයින් සඳහා තමන් එවන මුදල් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදෙන අතර, භාණ්ඩ මිළදී ගැනීම සඳහා තීරුබදු සහනයන්ද ලබාදෙයි. කලක් තිස්සේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සිහිනයක්ව පැවති විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටද කටයුතු කරන ලද අතර, ඒ අනුව මනු සවි දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වේ. එසේම විදේශ රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය මුදල් සපයාගැනීම වෙනුවෙන් කාර්යාංශය මැදිහත් වී පෙර විගමණික ණය පහසුකම්ද ලබාදෙන අතර, ඉදිරියේදී විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට ගුවන් තොටුපොලේදී අවශ්‍ය සහය ලබාදීම හා සිය කාර්යයන් පහසුවෙන් සිදුකර ගැනීම සඳහා Hope Gate නමින් විශේෂ ද්වාරයක්ද ආරම්භ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments