මෙරට ණය බර ප්‍රතිශතාත්මකව අඩු කිරීමට හැකි පරිදි දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම රට හමුවේ ඇති බරපතළ අභියෝගයක් බවත් එවැනි අභියෝගයක් ජයගත හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම ‘උපාධිධාරි ව්‍යවසායක උදානයේ‘ අරමුණ බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වූ උපාධිධාරී ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ ‘උපාධිධාරී ව්‍යවසායක උදානය‘ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (08 වැනිදා) එක්වෙමිනි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් මෙය සංවිධානය කර තිබුණි.
ඇමැතිවරයා එහි දී මෙසේද පැවසීය.
උපාධිධාරියකු තමන්ට රැකියාවක් සොයා යනවාට වඩා රැකියාලාභීන් පිරිසක් බිහි කරන අයකු විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණේ රැකියා සොයා ගිය මිනිසුන් නිසා නොවෙයි, රැකියා උත්පාදනය කරනු ලබන පිරිස් ඒ රටවල වැඩි වැඩියෙන් බිහි වූ නිසයි. තවත් පිරිසකට රැකියා අවස්ථාවක් ලබාදී ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැපයිය හැකි පුද්ගලයන්ට තමයි රටේ ආර්ථිකය සවිමත් කළ හැක්කේ.
සමෘද්ධි දීමනාව වැඩි කිරීමෙන් හෝ වෙනත් සුබසාධන අවස්ථා වැඩි කිරීමෙන් හෝ රට හමුවේ වන අභියෝගයන් ජයගැනීමට නොහැකියි. ‘අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%කටත් වඩා වැඩියි.’ මේ අභියෝගය ජයගත හැක්කේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් පමණයි