සෑම පුනර්ජනනීය බලශක්තියක්ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට 80% ක විදුලි ධාරිතාවක් එක් කර ගැනීම අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.
මන්නාරම ‘තම්බපවනී’ ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (8දා) එසේ පැවසීය.
මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය මගින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂිතය.
මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටයාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීම ද මෙහි අරමුණකි.
අගමැතිවරයා මෙසේද කීය.
2008 දී තරම් ඈතදී, මඩු දේවස්ථානයට යන පාර හදලා, මඩු මංගල්‍යය වෙනුවෙන් රටේ නායකයා විදියට මම එන්න හදනකොට, මට කිව්වේ, මෙහෙට එන්න නම් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අවසර ගන්න ඕන කියලයි.
රටේ නායකයාට මඩු පල්ලියට එන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න ඕන යුගයක් තිබුණෙ. මම එදා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ සෑම පුරවැසියෙකුටම උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යන්න පුළුවන් යුගයක් නිර්මාණය කරනවා කියලා, අද මේ තම්බපවනී බලාගාරය ඒ නිදහසේ ප්‍රතිඵලයක් නේදැයි මා ඔබගෙන් විමසනවා.
දැයේ අනාගතය භාරගන්න දුවා දරුවන් කුප්පි ලාම්පු එළියෙන් පොත පත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කළා.
වර්ෂ 2005 දී අපි බලයට පත් වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 65 % කට පමණයි විදුලිය තිබුණේ. වර්ෂ 2015 වන විට මුළු ජනගහනයෙන් 98% ක ප්‍රතිශතයකට විදුලිය දෙන්න අපට හැකි වුණා.
මේ නිසා නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කළා. ඉදි කිරීම් අවසන් කර ගන්න බැරිව තිබුණ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු අපි පසුගිය කාලය තුළ ඉටු කළා. ඒ මගින් මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් වුණා.
අපි 2015 වන විටත් සැලසුම් සකස් කරලයි තිබුණේ 2020 වෙනකොට ගල්අඟුරු බලාගාර ඉදි කිරීමට වගේම පුනර්ජනනීය විදුලිය ව්‍යාප්ත කිරීමට. නමුත් 2015 බලයට පත්වුණු ආණ්ඩුවට, ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම ගැන විධිමත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.
ඒ හේතුව නිසා අපිට ඉදිරියේදී විදුලිබල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තියෙනවා. එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලිබලාගාර ඉදිකරමින් පවතිනවා. කෙරවලපිටිය LNG බලාගාරය තුළින් මෙගා වොට් 300ක ධාරිතාවක් ද, නොරොච්චෝලේ තවත් ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම තුළින් මෙගා වොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න සියලු කටයුතු සූදානම් කර අවසන්.
අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කිරීමයි.
අපි 2013 දී තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉඳන් සුළං බලය වගේම සූර්ය බලය යොදාගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් සකස් කළා.
විදුලි බලය ගත්තත්, සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පාරිභෝගිකයා අනාගතයේදී විදුලිබල නිෂ්පාදකයකු ලෙස පරිවර්තනය කෙරෙනවා.
අද මේ යථාර්ථයක් වෙලා තියෙන්නෙත්, එදා අපේ ආණ්ඩුවක් යටතේ 2014 දි මූලික සැලසුම් සකස් කළ ව්‍යාපෘතියක්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුවත් මෙම සුළං විදුලි බලාගාරය එක් සංධිස්ථානයක්. අද ලෝකයම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. නමුත් ඒ සෑම රටකටම ස්වාභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගන්න තරම් වාසනාවක් නැහැ. ඒ අතින් අපේ රට කොතරම් වාසනාවන්ත ද .
සුළං බලය පමණක් නෙමෙයි, සූර්ය බලයත් යොදාගෙන අපට විදුලිය නිපදවිය හැකියි. මේ සෑම පුනර්ජනනීය බලශක්තියක්ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට සියයට 80% ක විදුලි ධාරිතාවක් එක් කර ගැනීම අපේ අපේක්ෂාවයි.
මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද, මෙතෙක් සුළං විදුලි බලාගාර තිබුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාරමේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසගත වෙනවා.
මෙම ව්‍යාපෘති ඉලක්කයෙන් සියයට 30ක ධාරිතාවක් අද මේ මොහොතේ පටන්ම ජාතික විදුලි බල පද්ධතියට එක්වෙනවා. ඉදිරියේදී මෙහි සියයට සියයක මුළු ධාරිතාවම විදුලිබල පද්ධතියට එක් කිරීමට අපි කටයුතු කරනවා.
තවත් මාස කිහිපයකින් මෙම ව්‍යාපෘතියේ සමස්ත ඉලක්කය සපුරනවිට ඉතා අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතිවෙනවා.
ඒ තුළින් සැමට විදුලිය ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට මෙන්ම වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමේ අර්බුදය විසඳා ගැනීමටත් හැකිවෙනවා.
දේශගුණික විපර්යාස අවම කිරීමේ විසඳුමක් විදියටත්, අද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමුවෙනවා. මෙවැනි ව්‍යාපෘතියකින් සිදුවන පරිසර හානියක් නැති තරම්.
කොවිඩ්-19 තත්ත්වය නිසා මුළු ලෝකයම අද ආර්ථික පසුබෑමකට ලක්වෙලා. නමුත් අපේ රටේ ජනතාව එම පීඩාවෙන් මුදා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. ඒ වගේම එක්ව ජය ගැනීමේ දේශීය ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රියාවලියට අප මුලපුරා තිබෙනවා. ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදකයා ගැන බලාපොරොත්තු දල්වා තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට අද දින එක්වන මෙම සුළං විදුලියත් ඒ සඳහා ශක්තියක්.
සෞභාගයේ දැක්මට අනුව 2030 වනවිට අපේ රටේ සමස්ත විදුලියෙන් සියයට 70% හෝ 80% ක් පුනර්ජනනීය බලශක්තිය මත රඳා පැවතිය යුතුයි.
විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම:
සමස්ත ලෝකයම පොසිල ඉන්ධනවලින් බැහැරවීමට උත්සාහ දරන යුගයක, සෞභාග්‍යයේ දැක්ම තුළින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම ගැන අපි රටක් වශයෙන් සතුටු විය යුතුයි.
ඇමැතිවරයා මෙසේ ද අදහස් දැක්වීය.
අපේ ජාතික ආර්ථිකය පුනර්ජනනීය බලශක්තියෙන් සන්නද්ධ කිරීමේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් තමයි අද මේ උදාවෙලා තිබෙන්නේ. පරිසර හානියෙන් තොර මෙම සුළං බලාගාරය දැයට දායාද කිරීමේ මෙම අවස්ථාව මිහිකතට ගරු කරන, ආදරය කරන ජාතියක් වශයෙන් මිහිකතගේ අනාගතය වෙනුවෙන් වූ ස්වර්ණමය හැරවුමක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙම බලාගාරයේ විශේෂත්වය වන්නේ, මෙහි ව්‍යාපෘති සැලසුම් වගේම තාක්ෂණික ඥානයත් විදුලිබල මණ්ඩලය සතු වීමයි. අපි අතීතය දෙස බැලීමේදී, විදුලිබල ක්ෂේත්‍රය මෙතෙක් ආ දිගු ගමන් මගේ විශේෂ සංධිස්ථාන රාශියක් තිබෙන බව පෙනෙනවා., මන්නාරම් භූමිය වැදගත් රහස් රාශියක් සඟවාගත් භූමියක්. ඒ නිසාම තමයි 2013 වසරේදී මෙම ප්‍රදේශය බලශක්ති සංරක්ෂණ කලාපයක් බවට නම් කළේ. අපේ අනාගතය දිදුලන ලකුණ වන ගෑස් නිධි මේ භූමිය සතුයි. අඳුරට පිළියම තමයි ආලෝකය. ඒ ආලෝකය පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ජාතික අධිෂ්ඨානය මෙන්ම පොසිල ඉන්ධනවලින් බැහැරවීමේ ඒකායන අධිෂ්ඨානය අද මේ ඓතිහාසික අවස්ථාවේ ජාතියක් වශයෙන් අප සියලු දෙනාම ඇතිකර ගත යුතුයි. මෙහිදි සූර්යබල, සුළං සහ විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ ඉදිරි වසර පහ තුළ පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ලෝකය යන වේගයට ලංකාව ඉදිරියට ගෙන යායුතු බවයි.