ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා මේ වන විටත් ජැෆ්නා ස්ටැලියන්ස්, කළම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබීම හේතුවෙන් අදාළ වටයේ ඉතිරි ස්ථානයට පැමිණීම සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබේ. ප්‍රසාද ලකුණු 9 බැගින් ලබා සිටින ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග්, කණ්ඩායම් ශ්‍රේණියේ පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථාන වල රැඳී සිටියි. එම කණ්ඩායම් දෙකම තරග හයකට සහභාගි වී ඉන් තරග හතරක් ජයගෙන, තරගයක් පරාජය වී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබුණි. කණ්ඩායම් අතර තෙවැනි ස්ථානයේ රැඳී සිටින කළම්බු කිංග්ස් කණ්ඩායම සහභාගි වූ තරග හයෙන් හතරක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් හිමිකරගෙන සිටී.
සිව්වැනි ස්ථානයේ පසුවන ගෝල් ග්ලැඩියේටර්ස් සහ පස්වැනි ස්ථානයේ පසුවෙන කැන්ඩි ටස්කර්ස් තරග හයකින් එක් තරගය බැගින් ජයගෙන තිබේ.
ඒ අනුව අද ප.ව. 3.30ට ජැෆ්නා ස්ටැලියන්ස් සමග පැවැත්වෙන තරගයේ තීරණය කැන්ඩි ටස්කර්ස්ටත්, අද රාත්‍රී 8.00ට දඹුල්ල වයිකින්ග් සමග පැවැත්වෙන තරගයේ තීරණය ගෝල් ග්ලැඩියේටර්ස්ටත් බෙහෙවින් වැදගත් වනු ඇත. ඒ අතරම හෙට රාත්‍රී 8.00ට ගෝල් ග්ලැඩියේටර්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර පැවැත්වෙන තරගයේ තීරණයද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම තෝරාගනු ලබන ප්‍රධාන සාධකයක් වී ඇත.
මේ අතර සමස්ථ තරග 15ක් අවසන් වන විට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ධනුෂ්ක ගුණතිලක සමත්ව සිටියි. තරග හයකට සහභාගි වී ඇති ධනුෂ්ක, අර්ධ ශතක 3ක් සමගින් රැස්කරගෙන තිබෙන මුලු ලකුණු සංඛ්‍යාව 322 ක් වන අතර ඔහු ඉනිමක රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 82 කි.
අර්ධ ශතක දෙකක් සමගින් තරග හයකදී ලකුණු 238ක් රැස්කරගෙන සිටින දඹුල්ල වයිකින්ග් පිලේ නායක දසුන් ශානක එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ. එම තෙවැනි ස්ථානය කළම්බු කිංග්ස් පිලේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබෙන අතර ඔහු තරග හයකදී අර්ධ ශතක දෙකක් සමගින් රැස්කරගෙන තිබෙන මුලු ලකුණු සංඛ්‍යාව 218කි.
පන්දු යවන්නන් අතර ඉදිරියෙන් පසුවන ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ වනිදු හසරංග තරග හයකදී කඩුලු 10ක් බිඳහෙලා තිබේ. එහි දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් කළම්බු කිංග්ස්හි ක්වයිස් අහමඩ්ට සහ කැන්ඩි ටස්කර්ස්හි නවීන් උල් හක්ට හිමිව තිබෙන අතර ඔවුන් කඩුලු 8 බැගින් දවාගෙන සිටියි.
මෙවර තරගවාරයේ එක් ඉනිමකදී හොඳම පන්දු යැවීම (5/26) සටහන් කළ මොහොමඩ් අමීර් තරග හයකදී කඩුලු 7ක් පමණක් දවාගෙන තිබීම කැපී පෙණෙන කාරණයක් විය.