ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ, ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සදහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා සිංගප්පූරු අනේවාසික මහකොමසාරිස් චන්ද්‍රා දාස් මහතා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් (30) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැතවූහ.
මෙහිදී සිංගප්පූරු මහකොමසාරිස් සඳහන් කලේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම හරහා ශ්‍රි ලංකාවට සාධනීය ප්‍රගතියක් ළඟා කරගත හැකි බවයි.ඒ සදහා නිසි ව්‍යුහාත්මක රාමුවක අවශ්‍යතාවයද ඔහු අවධාරණය කළේය. ඒ අනුව කඩිනම් ආර්ථික ප්‍රගතියක් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සදහන් කරන ලදී.
තවද සිංගප්පූරු වෙළෙඳපොලෙහි 60% වඩා කොටස් හිමි “NTUCසුපිරි වෙළෙඳසැල් ජාලය “ නැරඹිම සදහා ආරාධනා කරමින් එය ලංකා සතොස ඇතුළු මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත් වනු ඇතැයිද පැවසීය.
මෙහිදී අදහස් දැක්වු වෙළෙඳ අමාත්‍යවරයා භූමිය, හිතකර කාළගුණය හා සම්පත් බහුල රාජ්‍යයක් ලෙස මෙරටට සිංගප්පූරු විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ විභවතාවය විමසා සිටියේය. විශේෂයෙන් මෙරට පසු අස්වනු හානිය ඉතා ඉහළ බව සඳහන් කළ අමාත්‍යවරයා එහි පිරිවැයද පාරිභෝගිකයා හට දැරීමට සිදු වන බවද පෙන්වාදුන්නේය .ඒ අනුව වඩා ගුණාත්මක ඵලදාවක් ලබා ගැනීමටත්, සිංගප්පූරුව වැනි රටවල පවතින දිගු කාළයකට ප්‍රමාණවත් තරම් තොග ගබඩා කිරීමට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා සිංගප්පූරු රාජයේ සහයෝගය ලබා ගැනීමට ඇති අවස්ථාවන් අමාත්‍යවරයා විමසුවේය .මෙහිදී මහ කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය උදෙසාමෙරට ගොවීන් ඇතුළු නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රජාව සමූපකාර හා පළාත් සභා වැනි ආයතන හරහා නිසි ලෙස සම්බන්ධීකරණය කරන ලෙසත්, නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා ආයෝජන ඇතුළු අනිකුත් පහසුකම් ලබා දීමට සූදානම් බවත් සදහන් කරන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් හා දෙරට අතර ආර්ථික, දේශපාලන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සම්බන්ධ නව අවස්ථාවන් හා සහයේගීතාවය වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍රයන් පිළිබඳ සිංගප්පූරුවේ ආර්ථික ගමන්මගේ අත්දැකීම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා , වාණිජ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේඛා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.